ඉඩම් කොල්ලකෑමේ ජයග්‍රාහකයින් ගැන වචනයක්…

 මීට වසර සියයකට පෙර, එනම් පළමු ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ එහි ප්‍රංශ සගයා විසින් පැරණි ඔටෝමාන් ආධිපත්‍යය දැරූ අරාබි ලෝකය බිඳ දමා නව රටවල් (ඉරාකය, ලෙබනනය, සෞදි අරාබිය), ප්‍රධාන මර්මස්ථාන සහ මුරපොලවල් (ගල්ෆ් රාජ්‍යයන්, දකුණු යේමනය) සහ රූකඩ රාජ්‍යයන් (ඊජිප්තුව, ඉරානය) නිර්මාණය කළ අතර, එමගින්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඊශ්‍රායලය ගොඩනැඟීමේ මූලික අත්තිවාරම් දැමූහ.

එයින් වසර සියයකට පමණ පසු, කොමියුනිස්ට් කඳවුර බිඳවැටීමෙන් අනතුරුව, ජයග්‍රාහී එක්සත් ජනපදය විසින් අරාබි ලෝකය බෝල්කනීකරණය කිරීමට සහ එහි ආධිපත්‍යයට ඇති සියලු සැබෑ සහ පරිකල්පිත තර්ජන ඉවත් කිරීමට වේගයෙන් පියවර ගත්තේය. මැද පෙරදිග විනාශ කරන ලද 21 වන සියවසේ යුද්ධවල ප්‍ර‍තිවිපාක ඕනෑම ප්‍රමිතියකින් සලකා බැලුවද, භයානක ශේෂ පත්‍රයක් සපයයි. වොෂින්ටනයේ අධිරාජ්‍ය උපායමාර්ගිකයින් ඔවුන් නිර්මාණය කළ මෙම තත්ත්වය දෙස බලන්නේ කෙසේද? ඒකාධිපති-ජාතිකවාදී අරාබි ඒකාධිපතිත්වයන් යටතේ තිබූ තත්වයට වඩා ‘නිදහස’ සහ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ දුරස්ථවී ඇත. ධවල මන්දිරයේ සහ පෙන්ටගනයේ සිටින වඩාත්ම නරුම පුද්ගලයන්ට පවා ඔවුන් නිර්මාණය කර ඇති අවුල ප්‍රසිද්ධියේ සාධාරණීකරණය කිරීම දුෂ්කර ය.

පසුගිය වසර පුරාවටම, බටහිර රටවල් විසින් ඔවුන්ගේ සදාකාලික පක්ෂපාතී ප්‍රතිප්‍රහාරකයා වන ඊශ්‍රායලය හරහා ක්‍රියා කරමින්, අරාබි ලෝකයේ වඩාත්ම පීඩනයට ලක්ව  සිටින පලස්තීන ජනතාව අඛණ්ඩව සිදුවන ම්ලේච්ඡ ප්‍රහාරයට ලක් කර ඇත. මධ්‍යකාලීන යුගයේ ඇතිවූ කුරුස යුද්ධ කුරිරු විය; නමුත් දෙපාර්ශ්වයේම ආයුධවල තාක්ෂණික උසස් බවක් නොවූ නිසා අරාබිවරුන්ට තමන්ගේම භූමයේ සිටිමින් සටන් කිරීමේ හැකියාවක් තිබුණි. මෙවර ඊශ්‍රායලය සහ එහි බටහිර සහචරයින් පලස්තීනුවන් කුසගින්නේ තබා මරා දමමින් සිටිති. පාළු වීදිවල සැරිසරන බල්ලන් විසින් ළදරු සිරුරු ගිල දමනු ලබන රූප මෙම විනාශයේ රුදුරු ස්වභාවයේ බියකරු සංකේතයකි. අනාගතයේදී ඇතිවිය හැකි නීතිමය අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා, ජන සංහාරයේ අර්ථ දැක්වීම වෙනස් කිරීමට ඇති අවශ්‍යතාවය ට්‍රම්ප්ට ඒත්තු ගැන්වීමට බ්‍රිතාන්‍ය අගමැතිට දැන් අවශ්‍යවී ඇත. බටහිර ශිෂ්ටාචාරය, ම්ලේච්ඡත්වය මත ක්‍රියාත්මක වේ. මෙහි කුතුහලය දනවන කරුණ නම්, ට්‍රම්ප්, ඔහුගේම ප්‍රකාශ අනුව විනිශ්චය කරන විට, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකයාට වඩා ඝාතනය කිරීමට එතරම් උනන්දුවක් නොදක්වන  බව පෙනීයාමයි.

බැලූ බැල්මට, කලාපයේ ඇමරිකානු ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම පාහේ ස්ථාපිතවී ඇත. එක්සත් ජනපදය විසින් බෙදීම, අත්පත් කර ගැනීම, මිලදී ගැනීම සහ පාලනය කිරීමේ ගෝලීය ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. යුගෝස්ලාවියානු සිවිල් යුද්ධයෙන් ආරම්භ වූ මෙය, දැන් බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමයේ බොහෝ රටවල සහාය ඇතිව ගෙනයන ඇමරිකානු උපාය මාර්ගයේ නිත්‍ය අංගයක් බවට පත්ව ඇත. 1945 දී හිට්ලර්ගේ පරාජයෙන් පසු ලෝකයේ පොහොසත්ම බලශක්ති කලාපයේ එනම් මැදපෙරදිග, බටහිර රටවල් ලබා ගෙන ඇති ජයග්‍රහණ විශ්මයජනකයි. මෙම කලාපය පිළිබඳ කෙටි සමීක්ෂණයක් කිරීම මඟින් අහිමි වී ඇති දේ මෙන්ම එය ගමන් කරන දිශාව තේරුම් ගැනීමට හැකිවේ.

මේ සඳහා අප කළ යුත්තේ, පසුගිය දශක ගණනාවක කාලය තුළ සව්දි අරාබිය, ඊජිප්තුව, ලිබියාව, සිරියාව, ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනය ඇතුළු කලාපය තුළ දිග හැරුණු දේශපාලන ක්‍රියාවලිය විමසා බැලීමයි.

ආදරණීය සහෘදයිනි, අප මේ වචන ලියූ දා සිට හැම මොහොතක් පාසාම ඛේදවාචක වැඩි වී ඇත. පලස්තීනය පිළිබඳ ප්‍ර‍ශ්නයේදී, වසර ගණනාවක් තිස්සේ අප විශ්වාස කළේ විකල්ප දෙකක් ඇති බවයි; එකම ප්‍රමාණයේ රාජ්‍ය දෙකක් හෝ සැමට සමාන අයිතිවාසිකම් ඇති තනි රාජ්‍යයක්ය. සියොන්වාදය එතරම් නම්‍ය වී තිබුනේ නම්, දෙකම සම්පූර්ණයෙන්ම සතුටුදායක නොවුනත්, ඒ දෙකම කළ හැකිව තිබුණි. එහෙත් බෙන් ගුරියන්, මොරිස්, බෙගින්, ෂැරොන්, නෙතන්යාහු අවසානයේ ජය ගත්හ. එක්සත් ජනපදය ගිවිසුමක් හරහා බලහත්කාරයෙන් කටයුතු කරනු ඇතැයි යන කුමන්ත්‍රණය දිගටම බලාපොරොත්තු වූ අතර අවසානයේ ඔස්ලෝහිදී යටත් විය. ඊශ්‍රායලය දැන් හැසිරෙන්නේ මහා සාතන්ගේ කනිෂ්ඨ හවුල්කරුවෙකු ලෙසය. ජනතාවගේ නායකයින් මරා දැමිය යුතුද? රටවල් බෝම්බ හෙලීම, බෙදීම සහ නැවත බෝම්බ හෙලීම අවශ්‍යද? එය කරන්න. ඒ සඳහා, ඊශ්‍රායලයට තවත් පලස්තීනුවන් ගිල දැමීමට සිදුවේ. මිලියන එකහමාරකට සරණාගතයින් වීමට අවශ්‍ය නැතිනම්, සියොන්වාදීන්ට ඔවුන්ව තොග වශයෙන් සමූලඝාතනය කිරීමට ඉඩ දෙන්නේද? සියල්ලට පසු, අවසානයේදී, පලස්තීනුවන් වීම ඔවුන්ගේ වරදකි.

ඉඩම් අත්පත් කර ගැනීම් පිළිබඳ අල් ජසීරා පුවත් සේවයේ තොරතුරු සටහන (2024)

මෙම සිතියම 2024 දී ඊශ්‍රායලය විසින් ඉඩම් අත්පත් කර ගැනීම්වල සැලකිය යුතු වැඩිවීම පෙන්නුම් කරයි, බටහිර ඉවුරේ පලස්තීන ඉඩම් වර්ග කිලෝමීටර් 23.7 (වර්ග සැතපුම් 9.15) කට වඩා අත්පත් කර ගෙන ඇත – එය පසුගිය දශක දෙක තුළ අත්පත් කරගත් මුළු ඉඩම් ප්‍රමාණය ඉක්මවා යයි. විශේෂයෙන්, ජෝර්දාන් නිම්නයේ එක් අත්පත් කර ගැනීමක් වර්ග කිලෝමීටර් 12.7 (වර්ග සැතපුම් 4.9) ක් වූ අතර එය 1993 ඔස්ලෝ ගිවිසුමෙන් පසු විශාලතම තනි අත්පත් කර ගැනීම සනිටුහන් කරයි. මෙම ක්‍රියාමාර්ග බොහෝ විට පලස්තීන ප්‍රජාවන්ගේ වියදමින් ඊශ්‍රායල ජනාවාස සහ යටිතල පහසුකම් පුළුල් කිරීමේ පුළුල් උපාය මාර්ගයක කොටසකි.

Loading