කම්කරු කොමියුන මත පදනම්වූ නව ජනතා ව්‍යාපාරයක් සඳහා එක්වෙමු!

සමස්තයක් වශයෙන්, සංවිධිත ශ්‍රමය එනම් වෘත්තීය සමිති ලොව පුරා කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත් බලවේගයක් ලෙස දිගටම පවතී. කෙසේ වෙතත්, කම්කරු ව්‍යාපාරය සඳහා උදාවී ඇති නව අවස්ථා සහ නව අභියෝග යන දෙකටම මුහුණ දෙමින්, ආර්ථික, සමාජීය සහ තාක්ෂණික ප්‍රවණතාවල  වෙනස්වීම්වලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රම සංවිධානයේ භූ දර්ශනයද විකාශනය වේ. විවිධ රටවල් සහ විවිධ කර්මාන්ත හරහා කම්කරුවන් අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ගොඩනැගීමේ උත්සාහයන් තුලින් (ස්වයංක්‍රීය කම්කරු හා ජනතා කොමියුන ගොඩනැඟීම මඟින්) කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට විසඳුම් සෙවීමට සහ ලොව පුරා සාධාරණ සේවා කොන්දේසි ප්‍රවර්ධනය කිරීමට හැකි ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැඟීම වඩාත් වැදගත් වී ඇත. එමගින් ලෝක කම්කරු පංතියේ සහ පීඩිත ජනතාවගේ ස්වයං සංවිධානය සහ ස්වයං පැවැත්ම සඳහා අරගලය කිරීම අද දවසේ කාර්යය භාරය වී ඇත.

2024 වසර අවසාන වන විට, ලෝකයේ සංවිධිත ශ්‍රමයේ ( වෘත්තීය සමිති තුළ සංවිධාන ගතවූ) තත්ත්වය කලාපීය, ජාතික සහ ප්‍රාදේශීය සාධක මත පදනම්ව බරපතල වෙනස්කම්වලට භාජනයවී ඇත. නිදසුනක් වශයෙන් ලංකාවේ සංවිධිත කම්කරු ජනතාව විවිධ දේශපාලන ප්‍ර‍වනතාවයන්ට (“ වම සහ දකුණ යන දෙකටම අයත් පාලක පංති ප්‍ර‍භූන් යටතේ) අයත් ඊනියා වෘත්තීය සමිති යටතේ භේද භින්නවී ගොස් ඇත. නැතහොත් එම වෘත්තීය සමිති මෙහෙයවන පාර්ලිමේන්තුවාදී දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර‍යන්ට අනුව ක්‍රියා කරති. 

ඒ අතර “ස්වාධීන“ වෘත්තීය සමිති ලෙස පෙනී සිටින සංවිධාන තුළ තවත් අතලොස්සක් පමණ වන කම්කරුවෝ සම්බන්ධවී සිටිති. මෙම බොහෝ “ස්වාධීන සමිති“ පදනම්වී ඇත්තේ විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන මතය. මෙම දෙපාර්ශවයටම අයත් වෘත්තීය සමිතිවල පවතිනුයේ ඉතා දැඩි නිලධාරිවාදී ග්‍ර‍හණයකි.

මෙම දෙපාර්ශවයටම අයත් වෘත්තීය සමිති නායකත්වයන් එකිනෙකා පරයා විවිධ ප්‍ර‍දර්ශනීය ක්‍රියාකරකම්වල යෙදෙන නමුත් කම්කරු ජනතාව පහළ මට්ටමෙන් ශක්තිමත් බලවේගයක් ලෙස ගොනු කිරීමට වෙහෙස නොවෙති. 

ඉහළ මට්ටමෙන් (එනම් නායකත්ව මට්ටමෙන්) එක්සත් වැඩ පිළිවෙලකට ඒමටද මෙම වෘත්තීය සමිති නායකත්වයන්ට නොහැකි වී ඇත්තේ ඔව්හු විවිධ දේශපාලන ප්‍ර‍වණතාවයන්ගේ  නැතහොත් විදේශ රාජ්‍ය නොවන සංවිධානවල උවමනාවන්ට අනුව ක්‍රියා කරන හෙයිනි. සමහර වෘත්තීය සමිති තම සාමාජිකත්වය පවා (වැඩිකර ගැනීමට)  පුළුල් කිරීමට බිය වනුයේ එසේ කළහොත්,  වෙනත් දේශපාලන පක්ෂවලට අයත් කොටස් විසින් තම වෘත්තීය සමිතියේ නායකත්වය අල්ලා ගත හැකිවේය යන බියෙනි. 

මේ අතර සුළු ධනේශ්වර ජනප්‍රියවාදී හා පාර්ලිමේන්තුවාදී දේශපාලන පක්ෂ උත්සාහ කරනුයේ දැනට වෙනත් වෘත්තීය සමිති තුළ සංවිධාන ගතවී ඇති කම්කරුවන්, එම සමිතිවලින් කඩාගෙන තම පක්ෂයට අනුබද්ධ සමිතිවලට බඳවා ගැනීමට මිස තවමත් සංවිධාන ගතවී නැති (අසංවිධිත) කම්කරුවන් වෘත්තීය සමිති තුළට ගෙන ඒම නොවේ. ඔව්හු කම්කරුවන්ගේ ප්‍ර‍ශ්න ගැන කථා කරනුයේ ඊළඟට එළඹෙන ජනාධිපතිවරණයේදී හෝ මහා මැතිවරණයේදී හෝ වත්මන් ධනපති රාජ්‍ය යන්ත්‍ර‍ය මෙහෙයවීමේ බලය අත්පත් කර ගැනීමටය. 

මෙම තත්ත්වය යටතේ වෘත්තීය සමිති හුදු පාර්ලිමේන්තුවාදී දේශපාලන පක්ෂවල අතකොලු වශයෙන් පාවිච්චි කිරීම ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි වනු අතර සංවිධිත හා අසංවිධිත කම්කරුවන් ස්වාධීන බලවේගයක් වශයෙන් ගොනු කිරීමේ උත්සාහයක් දැකිය නොහැක. 

එහෙත් අද අපට අවශ්‍ය වි ඇත්තේ කම්කරු පංතිය ඇතුළු සියළුම වැඩ කරන ජනතාව ස්වායත්ත (independent) බලවේගයක් වශයෙන් ගොනු කිරීමේ දිසාවට යොමුවූ හා ඒ සඳහා පීඩිත ජනතාව පෙළගස්වන දේශීය, කලාපීය සහ ජාත්‍යන්තර වැඩ පිළවෙලකි. එම කර්තව්‍යය ඉටු කළ හැකි මාධ්‍යය වනුයේ කම්කරු හා අවශේෂ පීඩිත ජනතාවගේ ස්වයං ක්‍රියාකාරිත්වය මත පදනම්වූ කම්කරු ජනතා කොමියුන ගොඩනැඟීම හා එම කොමියුන කලාපීය හා ජාත්‍යන්තර ජනතා ව්‍යාපාර සමඟ බද්ධ කිරීමෙනි. එවැනි කම්කරු කොමියුන හරහා වැඩපළේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සඳහා අරගලය කළ යුතුය.

ලෝක තත්ත්වය:

1. සංවර්ධිත රටවල්: හොඳින් ස්ථාපිත කම්කරු ව්‍යාපාර සහ කම්කරුවන් සඳහා ශක්තිමත් නීතිමය ආරක්ෂාවක් ඇති රටවල, සංවිධානාත්මක කම්කරු ව්‍යාපාර (සංවිධිත ශ්‍ර‍මය) අඛණ්ඩව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. මෙම රටවල් තුළ වෘත්තීය සමිති බොහෝ විට සාමූහික කේවල් කිරීමේ ගිවිසුම් ඇතිකර ගන්නා අතර කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ කම්කරු ප්‍රතිපත්ති සැකසීමටද සහභාගී වේ. කෙසේ වෙතත්, වෘත්තීය සමිති සාමාජිකත්වය අඩුවීම, වෘත්තීය සමිති විරෝධී නීති සම්පාදනය සහ ගිග් වර්ක් ( gig work) හා උප කොන්ත්‍රාත් වැනි අවිනිශ්චිත රැකියා ඉහළ යෑම වැනි අභියෝග වැඩිවෙමින් පවතී.

2. සංවර්ධනය වෙමින් පවතින රටවල්:

බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල, ඒකාධිපති පාලන තන්ත්‍රවල මර්දනය, කම්කරු නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ සේවා යෝජකයන්ගේ ප්‍රතිරෝධය වැනි බාධකවලට සංවිධානාත්මක ශ්‍රමය (වෘත්තීය සමති) මුහුණ දෙයි. මෙම අභියෝග මධ්‍යයේ වුවද, සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල වෘත්තීය සමිති, කම්කරුවන් සංවිධානය කිරීමේදී, විශේෂයෙන්ම නිෂ්පාදන සහ සේවා වැනි ප්‍රධාන අංශවල වැදගත් ජයග්‍රහණ ලබාගෙන ඇත. ඔවුහු බොහෝ විට වඩා හොඳ වැටුප්, වැඩිදියුණු කළ සේවා කොන්දේසි සහ අවිධිමත් ආර්ථික පිළිවෙත් හමුවේ කම්කරුවන් සඳහා සමාජ ආරක්ෂණය වෙනුවෙන් පෙනී සිටිති.

3. නැගී එන ආර්ථිකයන්:

ශීඝ්‍ර කාර්මිකකරණයට සහ ආර්ථික වර්ධනයට ලක්වන රටවල් සංවිධානාත්මක ශ්‍රමය සඳහා අවස්ථා මෙන්ම නව අභියෝග යන දෙකටම මුහුණ දී ඇත. එක් අතකින්, ශ්‍රම බලකායේ ව්‍යාප්තිය සහ නව කර්මාන්තවල නැගීම මගින් වෘත්තීය සමිති සංවිධානය කිරීම සහ සාමූහික කේවල් කිරීම සඳහා විභවයන් නිර්මාණය කරයි. අනෙක් අතට, ආර්ථික සංවර්ධනය හඹා යාමේ දී කම්කරු අයිතිවාසිකම් සම්මුතියකට යට විය හැකි අතර, නැගී එන ආර්ථිකයන්හි කම්කරුවන් බොහෝ විට අඩු වැටුප්, අනාරක්ෂිත සේවා කොන්දේසි සහ සමාජ ආරක්ෂණ ක්‍ර‍ම නොමැතිවීම හෝ ඒවා කපා හැරීම වැනි ගැටළු වලට මුහුණ දෙයි.

4. ගෝලීයකරණය සහ සැපයුම් දාම(Supply Chains): 

ධනපති ආර්ථිකයේ ගෝලීයකරණය සහ භාණ්ඩ බෙදා හැරීමේ සැපයුම් දාම මඟින් නව රැකියා අවස්ථා සහ නව අභියෝග යන දෙකම ඉදිරිපත් කරමින් සංවිධානාත්මක ශ්‍රමයේ (වෘත්තීය සමිති ඇතුළු) භූ දර්ශනය නැවත සකස් කර ඇත. මෙහි ප්‍ර‍තිඵලයක් වශයෙන් බහුජාතික සමාගම් දේශසීමා හරහා ක්‍රියාත්මක වන අතර, වෘත්තීය සමිති සංකීර්ණ ගෝලීය නිෂ්පාදන ජාලයන් තුළ කම්කරුවන් සංවිධානය කිරීමේ අභියෝගයට මුහුණ දී ඇත. මෙම කාර්යයේදී සම්ප්‍ර‍දායික “වාමාංශිකයන්“ හා සභාග දේශපාලනය නිසා දූෂිතවී ඇති වෘත්තීය සමිති මෙම තත්ත්වයට මුහුණදීමට නොහැකිව අන්ද මන්දව සිටින අතර ඔව්හු සංවිධානගත නොවීම ගැන කම්කරුවන්ට වරද පැටවීමට හෝ/නැතහොත් කම්කරු පංතිය නව තාක්ෂණය හමුවේ අත අතුරුදහන් වෙමින් ඇතැයි වැනි මනෝමූල අදහස් පැවසීමට හෝ පටන්ගෙන ඇත. කම්කරු පංතියේ සංයුතිය වෙනස්වීම අනුව නව සංවිධාන විධි ක්‍ර‍ම නවෝත්පාදනය (Innovation) සඳහා පංති සහයෝගිතාවාදී දේශපාලනය නිසා දූෂිතවූ වෘත්තීය සමිති සංවිධානවලට හා “වාමාංශික“ යන් වශයෙන් පෙනී සිටින කොටස්වලට නොහැකි වී ඇත. ඔව්හු සම්ප්‍ර‍ායික සංවිධාන හා සම්ප්‍ර‍ායික අරගල පිළිවෙත්වල සිරකරුවන් බවට පත්වී ඇත. එසේ නැතහොත් මාක්ස්-ලෙනින්වාදය දේවභාෂිතයක් ලෙස නැවත නැවත ජප කරමින් සිටිති. 

5. තාක්ෂණය සහ ස්වයංක්‍රීයකරණය:

 තාක්‍ෂණික දියුණුව සහ ස්වයංක්‍රීයකරණය මගින් කම්කරුවන් ඉටු කරන කාර්යයන්ගේ ස්වභාවය පරිවර්තනය කර ඇති අතර සංවිධිත ශ්‍රමය සඳහා නව අභියෝග එල්ල කර ඇත. ස්වයංක්‍රීයකරණය මඟින් ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැකි අතර, එමගින් රැකියා විස්ථාපනය සහ සම්ප්‍රදායික රැකියා සබඳතා ඛාදනය වීම පිළිබඳ කනස්සල්ල ද මතු කරයි. මෙම වෙනස්කම් වලට අනුගත වන්නේ කෙසේද යන්න පිළිබඳව ලොව පුරා වෘත්තීය සමිති පොරබදමින් සිටින අතර, තාක්‍ෂණික ප්‍රගතියෙන් කම්කරුවන්ට ප්‍රතිලාභ ලැබෙන බව සහතික කිරීම සඳහාවූ නව ප්‍රතිපත්ති සහ සේවා කොන්දේසි වෙනුවෙන් පෙනී සිටීම අද ලෝක කම්කරු ව්‍යාපාරයේ කාර්යයභාරය වී ඇත. මෙම නව තාක්ෂණය සහ ස්වයංක්‍රීයකරණය භාවිතය මගින් ලෝක කම්කරු ප්‍ර‍ජාවගේ වැඩ කරන කාලය ( සතියකට වැඩ කරන දින ගණන හෝ පැය ගණන) අඩු කිරීමට හැකියාව ඇති අතර එමගින් ඉතිරි වන කාලය වැඩිදුර අධ්‍යාපනය, සංස්කෘතික, ක්‍රීඩා වැනි කටයුතු සඳහාත්, තම පවුලේ සහ සමාජයේ අවශ්‍යතා සඳහාත් යොදා ගැනීමට හැකි වන්නේය. එමඟින් වඩාත් සාමකාමී සහ සෞඛ්‍ය සම්පන්න ලෝකයක් ජනිත කිරීමටත් නව තාක්ෂණය භාවිතයට ගත හැකි වන්නේය.

  • විල්ප්‍ර‍ඩ් සිල්වා විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *