නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද?

රුසියානු මාක්ස්වාදී චින්තකයන් අතර, විවාදයට තුඩුදුන් ප්‍රශ්ණයක් වූයේ එවකට රුසියාවේ සාර්ගේ පාලනය යටතේ පැවති සමාජ ආර්ථික ක්‍රමය පෙරළා දැමීම කුමන බලවේගයක් විසින් සිදුවනු ඇද්ද?, එම සමාජ ක්‍රමය පෙරළා දැමීමෙන් පසු කෙබඳු දේශපාලන ආර්ථික ක්‍රමයක් බිහිවන්නේද යන්නයි. මෙබඳු විවාදයක් ඇතිවීමට හේතු සාධක වූයේ දියුණු ධනේශ්වර රටවල් ( බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ජර්මනිය ආදී) හා සංසන්දනය කළවිට, රුසියාවේ තිබූ විශේෂ තත්ත්වය නිසාය.

එනම්, රුසියාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය වැනි දියුණු ධනේශ්වර රටක් නොවීය. අනෙක් අතට එය සම්පූර්ණයෙන්ම වැඩවසම් ආර්ථිකයක් තිබූ රටක්ද නොවීය. අවශ්‍යයෙන්ම රුසියාවේ ධනේශ්වර ආර්ථික හා සමාජ සම්බන්ධතාවයන් ව්‍යාප්ත වෙමින් තිබිණ. නරෝද්නික් නැමැති සුළු ධනපති දේශපාලන ප්‍රවණතාවයට එරෙහිව ලෙනින් වාද කරමින්, රුසියාව තුළ ධනේශ්වර ආර්ථික සම්බන්ධතාවයන්හි වර්ධනය ඇතිවූ ආකාරය පෙන්වා දුන්නේය. “රුසියාවේ ධනේශ්වර වර්ධනය” නැමැති ලෙනින්ගේ කෘතියේ හරය මෙයයි. රුසියාවේ පැවැති පූර්ව ධනපති (වැඩවසම් හෝ අර්ධ වැඩවසම්) ගොවි සමාජය කෙළින්ම සමාජවාදී සමාජයක් බවට පත්කළ හැකිය යන මිත්‍යා මතය බිඳ දැමීම සඳහා රුසියාව තුළ ධනපති ක්‍රමය වර්ධනය වී ඇති ආකාරය ලෙනින් ඉහත සඳහන් කළ කෘතියෙන් පෙන්වා දුන්නේය.

මාක්ස් හා ඔහුගේ මුල්කාලීන අනුගාමිකයන්ගේ විශ්වාසය වූයේ, දියුණු රටවල්, නොදියුණු රටවල අනාගත වර්ධනයේ කැඩපතක් වන බවයි. එනම්, දැනට නොදියුණුව පවත්නා රටවල ආර්ථික සමාජ හා දේශපාලන වර්ධනය අනාගතයේදී ඇතිවන්නාවූ ආකාරය දියුණු ධනපති රටවලින් දිස් වෙන බවයි. එනම්, පමාවී හෝ නොදියුණු රටවල් දියුණු රටවල් ගත් මඟම ගන්නා බැව් ඔව්හු විශ්වාස කළහ. තවද මෙම මතය අනුව, සමාජවාදී විප්ලවය ප්‍රථමයෙන්ම ඇතිවන්නේ ඉතාම දියුණු ධනපති රටවලය. රුසියාව වැනි නොදියුණු රටවල ඇති වන්නේ “ප්‍රජාතන්ත්‍රවාදී” එනම් ධනේශ්වර විප්ලවයන්ය.

එවකට බ්‍රිතාන්‍ය හා ප්‍රංශය වැනි රටවල ධනපති විප්ලවය සම්පූර්ණ වී තිබිණ. පැරණ රදළ සමාජ-ආර්ථික හා දේශපාලන ක්‍රමය අභිබවා ධනපති ක්‍රමය වර්ධනය වී තිබිණ. එම රටවල ආර්ථික බලය ධනපති පංතිය සතුවිය. එම රටවල දේශපාලන වශයෙන් බලගතු පංතිය, ධනපති පංතිය විය. ධනපති පංතිය මෙම රටවල ධනපති විප්ලවයේ කාර්යයන් (එනම්, ඒ්කීය ජාතික රජයක් බිහි කිරීම, ඉඩම් ප්‍රතිසංස්කරණය හා කෘෂිකාර්මික විප්ලවය ඉටු කිරීම, ජාතික වෙළඳ පොළක් ඉඳි කිරීම, කාර්මික කරණය කිරීම ආදිය) ඉටු කිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කළේය. එනම්, වැඩවසම් ක්‍රමයට වඩා දියුණු සමාජ ආර්ථික ක්‍රමයක් පිහිටුවීම සඳහා මෙම කාල පරිච්ඡේදයේදී බ්‍රිතාන්‍ය, ප්‍රංශය ආදී රටවල ධනපති පංතිය ඉටු කළේ ප්‍රගතිශීලී කාර්යය භාරයකි. ඇත්තෙන්ම, රුසියාවත්, මඳක් කල් පසුවී හෝ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය වර්ධනයවූ ආකාරයටම වර්ධනය වේ නම්, එබඳු වර්ධනයක් ඇති කිරීමට පුරෝගාමීව කටයුතු කළ යුත්තේත්, කරනු ඇත්තේත් රුසියානු ධනපති පංතියයි.

රුසියානු කම්කරු පංති ව්‍යාපාරයේ එක් කොටසක් වූ (රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ 1902 සම්මේලනයේදී සුළුතරයවූ) මෙන්ෂෙවික්වරුන් මෙබඳු ස්ථාවරයක් දැරූහ. එනම්, රුසියාවේ නුදුරු අනාගතයේදී ඇතිවන සමාජ පරිවර්තනය ( එනම් සමාජ විප්ලවය) ධනේශ්වර පරිවර්තනයක් වනු ඇතැයිද, එම විප්ලවයේ නායකත්වය ධනේශ්වර පංතිය විසින් දරනු ඇතැයිද, මෙන්ෂෙවික්වරුන් විශ්වාස කළහ. මෙම විග්‍රහය අනුව, ධනපති පංතියේ පුරෝගාමිත්වය යටතේ ඇති වන්නාවූ ධනපති ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩු රජයක් තුළ කම්කරු ව්‍යාපාරයට වර්ධනයවීමට අවකාශ ලැබේ. එසේ වර්ධනය වන්නාවූ කම්කරු පංති ව්‍යාපාරය, ධනපති පංතියෙන් බලය උදුරා ගැනීමට සමත්වනු ඇත්තේ අවශ්‍ය ප්‍රමාණයට කම්කරු පංතිය ශක්තිමත්වූ පසුවය. මාටෝව්, සපුලික්, ඇක්සල්රෝඩ් ආදී මෙන්ෂෙවික් නායකයින් මෙබඳු විග්‍රහයක් ඉදිරිපත් කළහ.

ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන්

රුසියාව වැනි නොදියුණු රටවල කෙබඳු සමාජ පරිවර්තනයක් (විප්ලවයක්) ඇති වුවත්, එම විප්ලවයට ඉටු කිරීමට සිදුවන්නාවූ කර්තව්‍යයන් බොහෝමයක්ම සම්භාව්‍ය ධනපති විප්ලවයන් ( එනම්, 1789 යේ ප්‍රංශ විප්ලවය වැනි දියුණු ධනපති රටවල ඇතිවූ විප්ලවයන්) විසින් ඉටුකළ කාර්යයන්ම වන බැව් රුසියානු කම්කරු පංති ව්‍යාපාරයේ සෑම ප්‍රවණතාවයක්ම පිළිගත්හ. එනම්, එවකට පැවති ඒ්කාධිපති සාර් පාලනය පෙරළා දැමීම සඳහා සර්වජන ඡන්ද බලය, දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති පිහිටුවාලීමට අවකාශය ඇතුළු පොදු ප්‍රජාතන්ත්‍ර අයිතීන් දිනා ගැනීම, විශාල ඉඩම් ප්‍රමාණයක් රදළයන් හට සතුව පැවති තත්ත්වය අහෝසි කිරීම, එවකට පැවති ඉඩම් බදු ක්‍රමය හා කුලී ක්‍රමය අහෝසි කිරීම ඇතුළු කෘෂිකර්මය තුළ පැවති වැඩ වසම් ආර්ථික හා සමාජ බලපෑම් මුලිනුපුටා දැමීම, එනම් කෘෂිකාර්මික විප්ලවය, අභ්‍යන්තරික වෙළඳ පොළ එක්සත් කිරීම, විදේශික මූල ධනය කෙරෙහි පැවති පරාධීනත්වයෙන් බිඳීම හා එවකට පැවැති රජයේ දේශසීමාව තුළ විසූ සුළු ජාතීන්ගේ ප්‍රශ්ණය විසඳීම ආදියයි.

ඉහත සඳහන් කළාවූ කෘෂිකාර්මික විප්ලවය හා අභ්‍යන්තරික වෙළඳපොල එක්සත් කිරීම නොමැතිව, රට සීඝ්‍රයෙන් කාර්මිකකරණය කිරීමට අවශ්‍යවූ වාතාවරණය සකස් කළ නොහැකි විය. වැඩවසම් යුගයේ ආර්ථිකය ග්‍රාමීය පදනමක් මත සකස් වී තිබිණ. කෘෂිකාර්මික කටයුතු මෙන්ම, හස්ත කර්මාන්තයන්ද, ගමේ සීමාව තුළ පැන නැඟුණු අවශ්‍යතාවයන් සපුරාලීමට හැඩගැසී තිබිණ. මේ හේතුව නිසා එක් එක් ගම තුළ පැවැති වෙළඳපොල ඉතා සීමිත විය. එබඳු සීමිත වෙළඳ පොළක පදනමින්, ධනේශ්වර වර්ධනයක් ඇතිවිය නොහැකි වූයෙන්, ග්‍රාමීය සීමාවට වඩා විශාල පරිමාණයක වෙළඳ පොලක් ඇති කිරීම අවශ්‍ය විය. එබඳු වෙළඳ පොළක් නොමැතිව රට කාර්මිකකරණය කිරීම අසීරුය. එසේම වැඩවසම් ක්‍රමය තුළ රදළ ඉඩම් හිමියන්ට විශාල ධනයක් හා ආදායමක් තිබූ නමුදු සාමාන්‍ය ප්‍රවේණි දාසයන්ට හා කුලී ගොවීන්ට ලැබුනේ යන්තම් ජීවත්වීමට හැකි ආදායමක් පමණි. රදළයන්ගේ සංඛ්‍යාව ඉතාම සීමිත වූයෙන්, විශාල පරිමාණයේ කර්මාන්ත වලින් නිපැයෙන භාණ්ඩ සියල්ල රදළයන්ට පමණක් විකිණිය නෙහැක. අනෙක් අතට ඒ්වා මිලදී ගැනීමට තරම් ආදායමක් සාමාන්‍ය ජනයාට (කුලී ගොවීන්ට) නොතිබිණ. මෙම තත්ත්වය වෙනස් නොකර, එනම් සාමාන්‍ය ගොවියාගේ ආදායම් මට්ටම වැඩිවන ආකාරයේ සමාජ පරිවර්තනයක් කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ නොකර, නූතන කර්මාන්තවල නිපැයුම් අලෙවි කිරීමට නොපුළුවන. ගොවියා ගසා කෑමට යොදාගත් බදු හා කුලී ක්‍රමය නැති කර, වැඩ කරන ගොවියාට ඉඩම් බෙදාදීම තුළින් ගොවියාගේ ආදායම් මට්ටම වැඩි කිරීමටත්, එමඟින් කාර්මික භාණ්ඩ කරා ඉල්ලුම වැඩි කිරීමටත් හැකිවේ.

විදේශික අධිරාජ්‍යවාදයෙන් හා ඔවුන්ගේ මූල ධනයෙන් අපරාධීනවීම (නිදහස්වීම) අඩු දියුණු රටවල ආර්ථික වර්ධනයට අත්‍යාවශ්‍ය බැව් විසිවැනි ශතවර්ෂයේ මුල්කාලයේදී සිටි සියළු මාක්ස්වාදීන් වටහා ගත්හ. විදේශික මූල ධනය මගින් අඩු දියුණු රටවල ආර්ථිකයන් විකෘතිවී වර්ධනය වන බවත්, අධිරාජ්‍යවාදී ධන ආයෝජනයන්ගෙන් පරිපූර්ණ ආර්ථික වර්ධනයක් ඇති නොවන බවත් ඔව්හු වටහා ගත්හ. ඒ නිසා අධිරාජ්‍යවාදී දේශපාලන හා ආර්ථික ග්‍රහණයෙන් මිදීම ධනේශ්වර වර්ධනයට හා කාර්මික කරණයට අත්‍යාවශ්‍ය බැව් ඔවුහු සැලකූහ.

සුළු ජාතීන්ගේ ප්‍රශ්න විසඳාලීම ධනේශ්වර ආර්ථිකයක් ඇති කිරීමට පවා අත්‍යාවශ්‍ය වන්නේ සමාජය තුළ ජනතාවගේ සමගියත්, සමාජ ස්ථාවරත්වයක් හා සාමකාමී තත්ත්වයක් නොමැතිව ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම අසීරුවන බැවිනි. අසහනයට පත්වන්නාවූ සුළු ජාතියක් ඔවුන්ගේ අසහනයට විරුද්ධව අරගලය කිරීම නිසා සුළු ජාතීන් බලෙන් මැඩපැවැත්වීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ ආර්ථික වර්ධනයට අවශ්‍ය වන ධන සම්පත්වලින් වඩ වඩා වැඩි කොටසක් සුළු ජාතීන් මර්දනය කිරීමට යෙදීමයි. මෙබඳු තත්ත්වයක් තුළ ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය ධන සම්පත් අපතේ යෑමත්, සුළු ජාතීන්ගේ සහයෝගය ඒ් සඳහා ලබාගැනීමට අසීරුවීමත්, සමාජ ස්ථාවරත්වයක් නොමැතිවීමත් නිසා ආර්ථික වර්ධනය අඩාලවීම සිදුවේ.

මේ සියල්ල සම්භාව්‍ය ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් වූයෙන්, මේවා රුසියාවේ මෙන්ම ඕනෑම නොදියුණු රටක සාක්ෂාත් කරගත යුතු වන්නාවූ (එලඹෙන) ප්‍රධාන කර්තව්‍යයන් බැව් සියළුම මාක්ස්වාදීන් පොදුවේ පිලිගත්හ.

මෙන්ෂෙවික් විග්‍රහය‍:

නමුත් රුසියන් මාක්ස්වාදයේ පීතෘවරයාවූ ප්ලෙකනෝව් හා මෙන්ෂෙවික් මතධාරීන් එලඹෙන විප්ලවයේ මෙම කර්තව්‍යයන් ඉටුකර ගැනීමේ දේශපාලන කර්තව්‍යයන් ඉතාම සරලවූත්, යාන්ත්‍රිකවූත් ආකාරයකට විග්‍රහ කළහ. ඔවුනගේ විග්‍රහය වූයේ:

  • එලඹෙන විප්ලවයේ කර්තව්‍යයන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් වූයෙන්, එලඹෙන විප්ලවය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් වේ.
  • මෙම විප්ලවයේ ස්වරූපය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී බැවින් එහි නායකත්වය ගනු ලබන්නේ ධනපති පංතිය හා ධනපති පක්ෂ විසිනි.
  • එම කාර්යභාරය වෙනත් පංතියකට ඉටුකළ නොහැක.
    මේ නිසා කම්කරු පංති පක්ෂයේ උපාය උපක්‍රමයන් විය යුත්තේ කම්කරු පංතියේ නිශ්චිත ඉල්ලීම් වූ වෘත්තීය සමිති නිදහස, පැය 8 වැඩ දිනය වැනි ඉල්ලීම් සඳහා අරගලය කරන අතරම ධනපති පංතිය ප්‍රතිවිප්ලවවාදී කඳවුරට තල්ලු කිරීමට තුඩු දෙන්නාවූ අන්තවාදී පිළිවෙත්වලින් වැලකීමයි. එනම් කම්කරු පංතිය විසින් රාජ්‍ය බලය ඇල්ලීමට දිරිගැනීම වැනි ක්‍රියාවන්ගෙන් වැලකී සිටීමයි. ඒ් මන්දයත්, එබඳු ක්‍රියාවන්වල අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ අනිවාර්යයෙන් විප්ලවය පරාජිතවීම බැවිනි. විෂයමූලක වශයෙන්, කම්කරු පක්ෂය ධනේශ්වරයේ වාමාංශය වශයෙන්ද ක්‍රියා කළ යුතුවේ.

අධිරාජ්‍යවාදී නැඟීම හා 1905 විප්ලවය:

එහෙත් රුසියාවේ (මෙන්ම අන් නොදියුණු රටවල) ධනේශ්වර වර්ධනය බ්‍රිතාන්‍ය, ප්‍රංශය ආදී දියුණු ධනේශ්වර රටවල සිදුවූ ආකාරයට සිදු නොවීය. 19 වන ශත වර්ෂයේ අවසානය හා සමඟ ධනවාදයේ අධිරාජ්‍යවාදී යුගය ඇරඹිණ. මෙම වර්ධනය පිළිබඳව මාක්ස් දැන සිටියේ නැත. එය ඔහුගේ දේශපාලන ආර්ථිකයේ හිස් තැනකි. ලෙනින් විසින් පරිපූර්ණ ලෙස දැක්වූ පරිදි අධිරාජ්‍යවාදයේ විශේෂ ගුණාංගයන් දෙකක් විය. එනම් දියුණු රටවල ඇතිවන්නාවූ විපර්යාසයන් නිසා (ඒකාධිකාරී සමාගම් බිහිවීම, බැංකු මූල්‍ය ධනය ප්‍රබලවීම, ප්‍රාග්ධනයේ ඓෟන්ද්‍රීය සංයුතියේ වර්ධනය නිසා ලාභ අනුපාතය අඩුවීම ආදී කරුණු නිසා) දියුණු රටවල ධනේශ්වරය නොදියුණු රටවල ධනය යෙදවීමට (ආයෝජනය කිරීමට) පටන් ගනිති. මෙය මූල ධන අපනයනය වශයෙන් හැඳින්වේ. ඒ් හා සමඟම නොදියුණු රටවල්, දියුණු රටවල පාලකයින්ගේ දේශපාලන ග්‍රහණයට හෝ බලපෑමට ලක්වේ. මේ තත්ත්වය තුළ නොදියුණු රටවල ධනේශ්වර වර්ධනය ඇතිවූයේ එම සමාජයන් තුළ ස්වාභාවික අභ්‍යන්තරික වර්ධනයක් තුළින් නොව අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත්වීම මඟිනි. 19 වන ශත වර්ෂයේ අවසාන භාගයේදී ප්‍රංශ, ජර්මන් හා බෙල්ජියන් මූල ධනය රුසියාවේ යෙදවීමේ ප්‍රතිඵලයක් වශයෙන් රුසියන් කර්මාන්ත බිහිවිය. රුසියානු නගරවල ධනපති සමාජ සම්බන්ධතාවයන් ව්‍යාප්ත විය. මේ අනුව රුසියානු කම්කරු පංතියේ ප්‍රභවය ඇතිවූයේ රුසියානු ධනපතියන්ගේ වර්ධනය නිසා නොව විදේශික අධිරාජ්‍යවාදී ධන ආයෝජනයේ ප්‍රතිඵලයක් වශයෙනි. රුසියානු ධනපති පංතිය බිහිවීමට පෙර රුසියානු කම්කරු පංතිය බිහිවිය.

මේ හා සමඟම රුසියානු කෘෂිකර්මයත්, පාලන තන්ත්‍රයත් තවමත් පූර්ව ධනපති අවධියක පැවතින. කෘෂිකාර්මික අංශය තුළ වැඩ වසම් බලපෑම දැඩි මට්ටමක පැවතිණ. විශේෂයෙන් ඉඩම් අයිතිය විශාල ඉඩම් හිමි රදළයන් සතු විය. එසේම රාජ්‍ය බලය ඒ්කාධිපති සාර් රජුගේ ග්‍රහණයේ විය. රුසියානු ධනපති පංතිය ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන්ද ඉතා දුර්වල පංතියක් විය. එබැවින් රුසියාවේ ( මෙන්ම සියළු නොදියුණු රටවල පවතින) ආර්ථික වර්ධනයෙහි නගරබද හා ගම්බද අතර පැවතියේ අසමාන වර්ධනයකි.

ඉහතින් විස්තර කළ අයුරින් රුසියාවේ ඇතිවූ ආර්ථික වර්ධනයේ විශේෂ ස්වරූපය නිසා පෙලකනොව් හා මෙන්ෂෙිවක් වරුන් විශ්වාස කළ ආකාරයේ වර්ධනයක් ඇති නොවන බැව් වඩ වඩා පැහැදිලි විය. වශේෂයෙන්, 1905 රුසියන් විප්ලවයේදී මෙන්ෂෙවික් ඉදිරි දර්ශනයේ සාවද්‍යතාවය බෙහෙවින් ඔප්පු විය. එළඹෙන රුසියානු විප්ලවයෙහි නායකත්වය දැරීමේ කාර්යභාරය ඉටුකිරීමට රුසියානු ධනපති පංතිය සමත්වේද? යන ප්‍රශ්නය කව්ට්ස්කි, පාවුස්, රෝසා ලක්ෂම්බර්ග්, ලෙනින් ආදී මාක්ස්වාදී චින්තකයින් නැගූහ.

මෙම ගැටළුව පරිපූර්ණ ලෙස විග්‍රහ කර, එලඹෙන්නාවූ විප්ලවයේ ස්වරූපයත්, එය සාර්ථක කර ගැනීම සඳහා සංයෝජනය වියයුතු සමාජ බලවේගයන් ගැනත් නිවැරදි හා පරිපූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කළේ ට්‍රොට්ස්කි විසිනි. 1905 රුසියන් විප්ලවය සමයේදී ඉදිරිපත් කරනු ලැබූ මෙම විග්‍රහය නොනවතින විප්ලවයේ න්‍යාය වශයෙන් හැදින්වේ.

හේතු තුනක්:

රුසියාව වැනි නොදියුණු රටවලට දියුණු ධනේශ්වර රටවල අනුගමනය කළාවූ මඟ ඔස්සේ වර්ධනය විය නොහැකි බවත්, මෙම නොදියුණු රටවල ධනේශ්වර පංතියට ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් ඉටුකළ නොහැකි බවත් ට්‍රොට්ස්කි අවධාරණය කළේය. මෙයට ප්‍රධාන හේතු තුනක් විය.

  • (1) ලෝක වෙළඳ පොල තුළ අධිරාජ්‍යවාදී මූල ධනය දැරූ අති විශාල බලපෑම හා ශක්තිය නිසා ඔවුන් හා තරඟ කිරීමට දුර්වල ජාතික ධනේශ්වරයට අසීරු විය. අනිත් අතට සිය ආර්ථික බලයට තර්ජනයක් වන අයුරින් නොදියුණු රටවල කර්මාන්ත පිහිටුවීමට හා කාර්මිකකරණයක් ඇති කිරීමට අධිරාජ්‍යවාදීන්ට උවමනාවක් නොවීය. 19 වන ශත වර්ෂයේ අවසානය වන විට තවත් දියුණු ධනේශ්වර රටවල් ගණනාවකට ලෝක වෙළඳ පොල තුළ අවකාශ නොතිබිණ. මෙය එතෙක් බොහෝ මාක්ස්වාදීන් පිළිගත් අදහස්වලට හාත්පසින්ම විරුද්ධ මතයක් විය. ඒ් මන්දයක්, එවකට සාමාන්‍යයෙන් පිළිගත් මතය වූයේ, ලෝක ධනේශ්වර ක්‍රමයේ ව්‍යාප්තිය හා සමඟ නිතැතින් හා අනිවාර්යයෙන්, ලෝකයේ කාර්මික කරණයක්, නවීකරණයක් හා ප්‍රගතියක් ඇතිවන බවයි. මෙම සම්ප්‍රදායික මතයට එරෙහිවූ ට්‍රොට්ස්කි මෙම යුගයේදී, අධිරාජ්‍යවාදී ධනේශ්වර ක්‍රමයෙන් හා ධනේශ්වර ලෝක වෙළඳ පොළෙන් සම්පූර්ණයෙන් නොබිඳී, විශාල පරිමාණයේ කාර්මික කරණයක් කිරීමට, නොදියුණු බව මඟ හරවා ගැනීමට හා සමාජ ප්‍රගතියක් ඇති කිරීමට නොදියුණු රටවලට නුපුළුවන් බැව් ට්‍රොට්ස්කි පැහැදිලි කළේය. ඇත්තෙන්ම, ඉතිහාසය මෙම ප්‍රත්‍යය මැනවින් සනාථ කර ඇත. අද රුසියාව, චීනය, කියුබාව වැනි රටවල් පිළිබඳව අපි කෙබඳු විවේචනයක් ඉදිරිපත් කළත්, සම්භාව්‍ය ධනේශ්වර විප්ලවීය කර්තව්‍යයන් ඉටුකර ගැනීමට සමත්වී ඇත්තේ මෙම රටවල් පමණක් බැව් පිළිගත යුතුය. අපි ඉන්දියාව හා චීනය සංසන්දනය කළවිට, මෙය මොනවට පැහැදිලි වේ. එම රටවලට එසේ කිරීමට හැකිවූයේ අධිරාජ්‍යවාදී සම්බන්ධතාවයන්ගෙන් හා ධනේශ්වර ක්‍රමයෙන් සම්පූර්ණයෙන් මිදීමට සමත්වූ නිසාය. තවද, එම පරිවර්තනය සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු පංතිය විසින් මිස, එම රටවල ධනපති පංතිය විසින් නොවන බවද අවධාරණය කළ යුතුය. මේ අනුව නොදියුණු රටවල් ධනේශ්වර රාමුව තුළ සිටගෙන, පරිපූර්ණ කාර්මික කරණයක් හා නවීනකරණයක් කිරීමට ගන්නා උත්සාහයන් අනිවාර්යයෙන්ම අසාර්ථකවේ.
  • (2) දෙවන වැදගත් හේතුව නම්, නොදියුණු රටවල ජාතික ධනපති පංතියේ ‌ඓෟතිහාසික දේශපාලන දුර්වලත්වයයි. බාහිර වශයෙන් අධිරාජ්‍යයවාදයට විරුද්ධව හෝ අභ්‍යන්තරික වශයෙන් පැරණි ඉඩම් හිමි පාලක පංතියේ නටබුන් සහමුලින් අතුගා දැමීමට හෝ තීරණාත්මක අරගලයන් කිරීමට ජාතික ධනේශ්වරය අපොහොසත් විය. 16 වැනි ශත වර්ෂයේ සිට 19 වැනි ශත වර්ෂයේ මුල් භාගය දක්වා කාලයේදී ධනපති පංතිය වර්ධනය වූයේ බොහෝවිට එවකට ආර්ථික, දේශපාලන හා සමාජ බලය හිමි රදළයන්ට එරෙහිව අරගලය කරමිනි. මේ නිසා ඉඩම් හිමි වැඩවසම් පාලකයන් හා නැඟී එන ධනපති පංතිය අතර පැවතියේ ගැටුම් සහිත ප්‍රතිවි්රෝධී සම්බන්ධතාවයකි. නමුත්, 20 වන ශත වර්ෂයේ මුල් භාගය වන විට මෙම තත්ත්වය වෙනස්වී තිබිණ. අධිරාජ්‍යවාදී ධන ආයෝජනය හා රජය මැදිහත්වීම නිසා ඇතිවූ ධනපති සමාජ ක්‍රමය තුළ අධිරාජ්‍යවාදී සෙවනේ වැඩුණු ධනපතියෝ බොහා්විට, ඉඩම් හිමියන් හෝ ඉඩම් හිමි පවුල් හා සම්බන්ධය නැතිවූ අය වූහ. මේ අනුව ධනපති පංතිය හා ඉඩම් හිමියන්, පොලී කරුවන්, වෙළෙන්දන් අතර කිට්ටු සම්බන්ධයක් පැවතිණ. ධනපතියෝද බොහෝවිට ඉඩම් මිලදී ගෙන රදළ හිමියන්ට හිමි සමාජ තත්ත්වය හා සැලකීම ලබා ගැනීමට දිරි ගත්හ.

මේ නිසා ජාතික ධනේශ්වර පංතිය පරිපූර්ණවූ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමට අසමත් විය. ලොකු ඉඩම් හිමියන්ගේ ඉඩම් අයිතිය අහෝසිකර, ගොවියන්ට ඉඩම් බෙදාදීමට පියවර ගැනීම තමන්ගේම ධනයෙන් කොටසක් විනාශ කර දැමීම වූයෙන්, ජාතික ධනපතියෝ එබඳු පියවරක් ගැනීමට සූදානම් නොවූහ. තවද, පුද්ගලික ඉඩම් හිමියන්ට එරෙහිව දියත් කරන ව්‍යාපාරයක් මුළු පුද්ගලික දේපොල ක්‍රමයටම එරෙහිව වර්ධනය වන ව්‍යාපාරයක් බවට පරිවර්තනය විය හැක.

අනික් අතට එබඳු කෘෂිකාර්මික විප්ලවයක් දියත් නොකර, මෙම නොදියුණු රටවල පරිපූර්ණ කාර්මිකකරණයක් කිරීම අසීරු විය. ධනේශ්වර භාණ්ඩ අලෙවි කිරීමට අවශ්‍ය වෙළඳ පොළක් ග්‍රාමීය සමාජය තුළ ඇති කිරීමට නම්, ඉඩම් ප්‍රතිසංස්කරණයක් තුළින් ගැමි ජනයාගේ ආදායම් මට්ටම බෙහෙවින් වැඩිකළ යුතු විය. එමඟින් ධනේශ්වර කර්මාන්තවලට අවශ්‍ය අභ්‍යන්තරික වෙළඳ පොලක් ඇති කිරීමට හැකිවනු ඇත. නමුත්, ධනපතියන් හා ඉඩම් හිමියන් අතර පැවති කිට්ටු සම්බන්ධය නිසා එබඳු පියවරක් ගැනීම අසීරු විය.

තවද, මෙම රටවල කම්කරු පංතිය, ජාතික ධනපති පංතියේ වර්ධනයට පෙර ජනිතවී සංවිධානවී සිටි බැවින්, කෘෂිකාර්මික විප්ලවයක් දියත් කිරීම මඟින් ඇරඹෙන්නාවූ සමාජ අරගලයන් ධනේශ්වරයට පාලනය කළ නොහැකි සීමාවන්ගෙන් ඔබ්බට දියුණුවීමේ තර්ජනය නිසාද, එබඳු පියවර ගැනීමට ජාතික ධනපති පංතිය මැලි විය.

අධිරාජ්‍යවාදය හා ආර්ථික වශයෙන් වෙලී සිටින ජාතික ධනපති පංතිය යම් යම් අවස්ථාවන්හිදී අධිරාජ්‍යවාදය හා ගැටීමට සමත්වූවත්, ඔවුනගේ දුර්වල තත්ත්වය නිසා අධිරාජ්‍යවාදයට මහමුලින්ම හා සම්පූර්ණයෙන් විරුද්ධවීමට හෝ අධිරාජ්‍යවාදී පරාධීනත්වයෙන් සම්පූර්ණයෙන් බිදීමට හෝ ජාතික ධනපති පංතිය පොහොසත් නොවේ.

  • (3) තුන්වන හේතුව නම්, බහුතරයවූ ගොවි ජනයා හට ධනේශ්වර විප්ලවයේ කාර්යය භාරයන් ඉටුකිරීමේලා ස්වාධින නායකත්වයක් දීමට නොහැකිවීමයි. සංඛ්‍යාව අතින් විශාලවූ මෙම සුළු ධනේශ්වර ජනතාව ‌ඓෟතිහාසික වශයෙන් එක්කෝ ධනපති පංතියේ නැතහොත් කම්කරු පංතියේ නායකත්වය අනුගමනය කරනවා විනා, ස්වාධීන බලවේගයක් වශයෙන් ක්‍රියා නොකිරීම වැදගත් දේශපාලන සාධකයක් විය. ගොවි ජනයා හට විප්ලවීය කාර්යයභාරයක් ඉටු කිරීමට නොහැකිවේ යැයි මින් අදහස් නොකෙරේ. බොහෝ නොදියුණු රටවල සංඛ්‍යාත්මක වශයෙන් ගොවි ජනයා බහුතරය වන නිසාම, ඔවුන්ට විප්ලවීය බලවේගයක් වීමේ හැකියාව තිබිණ. එහෙත් ස්වාධීන නියාමක බලවේගයක් වශයෙන් ඔව්හු ක්‍රියා නොකළහ. ධනපති පංතියේ නායකත්වය අනුගමනය කරන ගොවි ජනයා ප්‍රතිවිප්ලවවාදී බලවේගයක් බවට පත්වේ. ගොවි ජනයාගේ විප්ලවීය හැකියාවන් මල්ඵල ගැන්වෙන්නේ ඔවුන් කම්කරු පංතියේ නායකත්වය පිටුපස පෙළ ගැසීමෙන් හෝ යටත් පිරිසෙයින්, කම්කරු පංති නායකත්වයකින් යුත් විප්ලවීය ක්‍රියාදාමයක කොටස් කරුවන් වීමෙන් පමණි. සමාජය නවීකරණය කිරීම වළක්වන්නාවූ රදළ ඉඩම් ක්‍රමය ඇතුළු සියළු බාධක අතුගා දැමීමට හැකි වන්නේ එවිටය.

ගොවි ජනයා

මාක්ස්වාදී විග්‍රහය අනුව ගොවි ජනයා සමාජ පංතියක් නොවේ. මාක්ස්වාදී දෘෂ්ටිකෝණයෙන් බැලූ විට ගොවි ජනයා වශයෙන් හැඳින්වෙන ජනතාව කොටස් 4 කට හෝ 5 කට බෙදිය හැක. ප්‍රථමයෙන්ම ශ්‍රමිකයන් යොදවා ගන්නා ලොකු ඉඩම් හිමියන්, ධනවත් ගොවීන් ආදීන් වේ. ඔව්හු සූරාකන්නන්ගේ ගණයට අයත් වෙති. දෙවනුව එබඳු සූරා කන්නන් යටතේ වැඩ කරන්නාවූ කෘෂිකාර්මික කම්කරුවන් වේ. මොවුන් සුළු ධනපති කොටස් නොව, නගරබඳ කම්කරුවන්ට සමාන ශ්‍රමිකයන්ය. සාමාන්‍යයෙන් ඔවුනගේ වැටුප් මට්ටම නගරබඳ කම්කරුවන්ට වඩා අඩුය. තෙවනුව මේ දෙකොටසට අතර මැදිවූ කුඩා ඉඩම් හිමි ගොවීන්ය. මොවුන් නගරබඳ කුඩා කඩ හිමියන් මෙන් නියම සුළු ධනපති කොටස් වේ. ඔවුන් තම පවුලේ සාමාජිකයින්ගේ ශ්‍රමය යොදා කෘෂිකාර්මික කටයුතුවල නිරතවන අතර වැටුප් ශ්‍රමිකයින් යොදවා නොගනිති. සිව්වැනිව අර්ධ කම්කරු කොටස් වශයෙන් හැඳින්විය හැකි දුගී ගැමියන්වේ. ඔවුනට ඉඩම් කුඩා ප්‍රමාණයක් තිබෙන නමුදු එම ඉඩම් වගා කිරීමෙන් පමණක් ජීවත්විය නොහැක. ඒ් නිසා අතිරේක ආදායමක් ලබා ගැනීමට කුලී වැඩ කරති. අඳ ගොවීන් – එනම් තමන් සතු ඉඩම් නොමැති අනුන්ගේ ඉඩම් කුලියට හෝ අඳයට ලබාගෙන ගොවිතැන් කරන්නවුන් පස්වැනි වර්ගය වශයෙන් හැඳින්විය හැක.

මේ අනුව ගොවිජනයා වශයෙන් හැඳින්වෙන ජනසමූහය සමාජ හා ආර්ථික වශයෙන් විවිධවූ ජන කොටස්වලින් සමන්විත වේ. ස්වාධින දේශපාලන කර්තව්‍යයක් ඉටුකිරීමට ඔවුනට නොහැකිවීමට මෙම විවිධත්වයද එක් වැදගත් හේතුවකි. නිදසුනක් වශයෙන්, ධනපති ඉඩම් හිමි ගොවියාගේ උවමනාවන් හා කෘෂිකාර්මික කම්කරුවාගේ උවමනාවන් බොහෝවිට පරස්පර විරෝධී වේ.

ඉහත දැක්වූ කරුණු සමාලෝචනය කළ ට්‍රොට්ස්කි, රුසියාව වැනි නොදියුණු රටවල වර්ධනයේ විශේෂවූත්, නිශ්චිතවූත් ලක්ෂණයන් හට අවධානය යොමු කළේය. එනම්, රුසියාවේ ආර්ථික, දේශපාලන හා සමාජ වර්ධනය ඉතා අසමාන විය. නගරබඳ ඉතා දියුණු කර්මාන්තයන්ද, ගම්බදව යල්පැනගිය ක්‍රමයට කෙරුණු කෘෂිකර්මයද විය. නගරබදව ධනේශ්වර ක්‍රමය බෙහෙවින් දියුණුවී නූතන කම්කරු පංතියක් බිහිවී තිබිණ. ගම්බද තවමත් රදල බලපෑමට ලක්වී පැවතින. ගැමි ජනතාව විවිධ පැලැන්තිවලින් සමන්විත විය. රුසියාවේ වර්ධනය මේ අසමාන ලක්ෂණ සම්බන්ධවීම තුළින් සිදුවන්නාවූ ආකාරය ට්‍රොට්ස්කි මෙසේ සමාලෝචනය කළේය.

“‌ඓෟතිහාසික ක්‍රියාවලියේ ඉතාම පොදු නියමයවූ අසමානත්වය නොදියුණු රටවල වර්ධනයේදී ඉතාම තියුණු ලෙස හා සංකීර්ණ ලෙස ඉස්මතුවේ. බාහිර අවශ්‍යතාවයන්ගේ කස පහර යටතේ පසුගාමී සංස්කෘතීන් හට ඉදිරි පිම්මක් ගැනීමට සිදුවේ. අසමානත්වය නමැති විශ්ව නියමය තුළින් තවත් නියමයක් බිහිවේ. එයට වෙනත් සුදුසු නමක් නොමැතිකම නිසා සම්බන්ධිත වර්ධනය පිළිබඳ නියමය වශයෙන් අපි හඳුන්වමු. ඉන් අපි අදහස් කරනුයේ ගමනක විවිධ අධියර එකට සිදුවීමයි. එකිනෙකට වෙනස් පියවර එකට ගැනීමයි. යල් පැන ගියාවූ හා වත්මන් ස්වරූපයන් සම්බන්ධවීමයි.”

නොනවතින විප්ලවයේ න්‍යාය

නොනවතින විප්ලවයේ ප්‍රථම නියමයට ට්‍රොට්ස්කි එලඹුණේ ඉහත දැක්වූ නිරීක්ෂණයන් අනුවය: එනම්, නොදියුණු ධනේශ්වර රටක ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සම්පූර්ණයෙන් ඉටුකිරීමට හැක්කේ කම්කරු පංති ආඥාදායකත්වයක් තුළින් පමණි. ධනපති පංතියට මෙම රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සම්පූර්ණයෙන් හා සහමුලින් ඉටුකළ නොහැක. තවද මෙම රටවල කම්කරු පංති ආඥාදායකත්වයක් පිහිටුවීම හා සමඟ සමාජවාදී කර්තවයයන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රශ්නය මතුවේ.

මෙම නිගමනය එතෙක් පිළිගත් විග්‍රහයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ එකක් විය. සම්ප්‍රදායික මතය වූයේ නොදියුණු රටවල පළමුවෙන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සිදුවන බවත්, දිගු කලක් එම ප්‍රජාතන්ත්‍රවාදී මාවත ඔස්සේ ගමන් කිරීමෙන් පසු මෙම සමාජයන්හි කම්කරු පංතිය බලය අත්පත් කර ගන්නා බවත්ය. නොනවතින විප්ලවයේ න්‍යාය අනුව නොදියුණු රටවල ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ඉටුකළ හැක්කේද කම්කරු පංති ආඥාදායකත්වය තුළිනි. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදී පාලනය දිගුකලක් පවතින්නක් නොව සමාජවාදී විප්ලවයට මඟ පාදන්නකි. සමාජවාදී විප්ලවයකින් කෙළවර නොවන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පරාජයට පත්ව ප්‍රතිවිප්ලවය ජයගනී. ප්‍රජාතන්ත්‍ර විප්ලවයෙන් ඇරඹී, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ දිගුකලක් නොනැවතී සමාජවාදී විප්ලවය කරා ගමන් කිරීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍ර කර්තව්‍යයන් සම්පූර්ණයෙන් ඉටුකර ගැනීමට හැකිවන්නේය යන මෙම නිගමනය 1905 පසු ඇතිවූ සෑම විප්ලවයකින්ම සනාථවී ඇත.

මෙම නියමය යළි මෙසේ සම්පිණ්ඩනය කරමු: දියුණු රටක කම්කරු පංතිය බලය අත්පත් කර ගැනීමට පෙර නොදියුණු රටක කම්කරු පංතියට බලය අත්පත් කර ගැනීමට පුළුවන. නොදියුණු රටක කම්කරු පංතිය රාජ්‍ය බලය අත්පත් කර නොගෙන ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ සියළු ‌ ඓෟතිහාසික කර්තව්‍යයන් සම්පූර්ණයෙන් හා සහමුලින් ඉටුකරගත නොහැක.

ධනේශ්වරයට හෝ සුළු ධනේශ්වරයට ධනේශ්වර විප්ලවයේ කිසිදු කර්තව්‍යයක් කිසිදු මට්ටමකින් ඉටුකර ගැනීමට නොහැකි වේයැයි මින් අදහස් නොවේ. එසේම ධනේශ්වරය හා සුළු ධනේශ්වරය කිසිදු අධිරාජ්‍ය විරෝධී හෝ රදළ විරෝධී හෝ අරගලයක් කිසිදු අවස්ථාවක දියත් කිරීමට අපොහොසත්යයි ඉන් අදහස් නොවේ. චීන ධනේශ්වරය විසින් ජපන් අධිරාජ්‍යවාදයට එරෙහිව යුද්ධ කළහ. ධනේශ්වර බලවේග විසින් ඇරඹූ මැක්සිකෝවේ විප්ලවය දිගුකලක් පැවතිණ. ඒවායින් යම් කර්තව්‍යයන් ඉටුවිය. ධනේශ්වරයට හෝ සුළු ධනේශ්වරයට අධිරාජ්‍ය විරෝධී හෝ රදළ විරෝධී හෝ කිසිදු අරගලයක් ඇරඹිය නොහැකිය යන අදහස එබැවින් සාවද්‍යය. නොනවතින විප්ලවයේ න්‍යායෙන් එබන්දක් ප්‍ර‍කාශ නොවේ. එහි හරය නම් ධනේශ්වරයට හා සුළු ධනේශ්වරයට එම කර්තව්‍යයන් සහමුලින් හා සම්පූර්ණයෙන් සාක්ෂාත් කර ගැනීමට නුපුළුවන් බවයි. මෙය ඉතිහාසයෙන් ඔප්පුවී ඇති සත්‍යයකි.

(ලෙනින්ගේ ස්ථාවරය සහ නොනවතින විප්ලවයේ සෙසු නියමයන් දෙවන කොටසින් සාකච්ජා කෙරේ.)

සංස්කරණය: විල්ප්‍ර‍ඩ් සිල්වා

මෙම ලිපිය සංස්කරණය කරනු ලැබූයේ 1980 මුල් භාගයේදී විප්ලවීය මාක්ස්වාදී පක්ෂයේ දේශපාලන අධ්‍යාපන වැඩ සටහන් සඳහා සකස් කරන ලද ලියවිලි ආශ්‍රයෙනි.












































































































































Leave a Reply

Your email address will not be published. Required fields are marked *