නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)

“අවිනිශ්චිත දීර්ඝ කාලයක් තුළ හා අනවරතයෙන් ඇතිවන්නා වූ අරගල මගින් සියලු සමාජ සම්බන්ධතාවයන් පරිවර්තනය වේ. සමාජය දිගින් දිගටම එහි හැව ඉවත දමයි.“(ට්‍රොට්ස්කි – නොනවතින විප්ලවය).

1917 අප්‍රේල් මාසය වනතුරු ලෙනින් මීට වඩා වෙනස් මතයක් දැරුවේය. රුසියාවේ ජාතික ධනේශ්වරයට රුසියානු ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කරගැනීමට නොහැකි බැව් ලෙනින්ද පිළිගත්තේය. එහෙත් එළඹෙන විප්ලවයේ නායකත්වය දරනු ලබන්නේ කෙබඳු සමාජ බලවේගයක් හෝ බලවේගයන් ද යන ප්‍රශ්නය පිළිබඳ ලෙනින් ට්‍රොට්ස්කිට වඩා වෙනස් මතයක් දැරීය. ලෙනින් ගේ මතය අනුව එළඹෙන විප්ලවය ධනේශ්වර විප්ලවයක් වූ අතර එහි නායකත්වය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (එනම් කම්කරු පන්තියේ දේශපාලන සංවිධානය) හා ගොවිජන පක්ෂයත් අතර ඇතිවන සභාගයක් විසින් දරනු ඇත. මෙයින් අදහස් වූයේ කම්කරු පන්තිය හා ගොවි ජනයාගේ පුරෝගාමිත්වයෙන් ඇතිවන්නා වූ රුසියන් විප්ලවය ධනේශ්වර පන්තිය නොමැතිව හෝ ඔවුනට එරෙහිව ඇති වූවත්, එහි ප්‍රතිඵලය වන්නේ ධනේශ්වර සමාජයක වර්ධනය ඇරඹීම බවයි. මේ අනුව ලෙනින් ඉදිරිපත් කළ සටන් පාඨය වූයේ “කම්කරු පන්ති ආඥාදායකත්වයක් සඳහා“ යන්න නොව “කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වයක් සඳහා‍“ යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වය යනු ධනේශ්වර රජයකි. ලෙනින් එවකට දැරූ මතය නම් ධනේශ්වර අදියර මඟහැර ඉදිරියට යෑමට එළඹෙන විප්ලවයට නුපුළුවන් බවයි. (සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ද්විත්ව උපායන් යන ඉංග්‍රිසි කෘතියේ – එකතු කළ වෙළුම් 9, 42 පිටුව).

මෙම විග්‍රහය පිළි නොගත් පාවුස් නූතන ඉතිහාසය මුළුල්ලේම ගොවි ජනයා තමන්ටම ආවේණික වූ දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට අපොහොසත් වූ බව පෙන්වා දුන්නේය. තවද, සාමාන්‍යයෙන් “ගොවි ජන පක්ෂ“ වශයෙන් හැඳින්වෙන පක්ෂ ඇත්තෙන්ම ධනේශ්වර (ග්‍රාමීය බුද්ධිමතුන්ගේ හා වෙළෙඳුන්ගේ) පක්ෂ බවත්, ඒවා ගොවින්ගේ ඡන්ද ලබාගන්නා නමුත්, ඔවුනගේ සමාජ ආර්ථික උවමනාවන් ඉටු නොකරන බවත් පෙන්වා දුන්නේය. එසේ හෙයින් විප්ලවයට සාර්ථක නායකත්වය දිය හැක්කේ කම්කරු පන්ති පාක්ෂික ආණ්ඩුවකට පමණක් යැයි තර්ක කළේය. එනමුත් එම ආණ්ඩුව ධනේශ්වර ආර්ථික රාමුවක් තුළ හා ධනේශ්වර රාජ්‍ය පදනමක් මත ක්‍රියාකරන බව පාවුස් ගේ මතය විය.


ඇලෙක්සැන්ඩර් පර්වුස්, ඔහුගේ සැබෑ නම ඊශ්‍රායල ලසරෙවිච් ගෙල්ෆාන්ඩ්, රුසියානු විප්ලවවාදියෙකු සහ මාක්ස්වාදී න්‍යායාචාර්යවරයෙකි. ඔහු 19 වැනි සියවසේ අගභාගයේ සහ 20 වැනි සියවසේ මුල් භාගයේ රුසියානු විප්ලවවාදී ව්‍යාපාරයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

පර්වුස්ගේ කැපී පෙනෙන දායකත්වයක් වූයේ රුසියාව වැනි ඌන සංවර්ධිත ධනේශ්වර ආර්ථිකයන් ඇති රටවල ධනේශ්වර අවධියක් හරහා නොගොස් සමාජවාදී විප්ලවය සාක්ෂාත් කරගත හැකි බවට තර්ක කළ “නොනවතින විප්ලවය” යන සංකල්පය වර්ධනය කිරීමයි. මෙම අදහස පසුව ලෙනින් සහ ට්‍රොට්ස්කි කෙරෙහි බලපෑවේය.

නමුත් ලෙනින්ගේ හා පාවුස්ගේ ස්ථාවරයන්හි තිබූ ප්‍රතිවිරෝධතාවයන් ට්‍රොට්ස්කි වටහා ගත්තේය. ගොවි ජනයා විප්ලවයේ ඉතා වැදගත් කර්තව්‍යයක් ඉටුකරන බව ට්‍රොට්ස්කි පිළිගත් නමුත්, විශේෂයෙන්ම විප්ලව අවස්ථාවකදී ඔවුනට ධනේශ්වරයෙන් හෝ කම්කරු පන්තියෙන් ස්වාධීන වූ දේශපාලන බලවේගයක් වශයෙන් ක්‍රියා කිරීමට නුපුළුවන් බැව්‍ තර්ක කළේය. පැවැත්මෙන් ගොවි ජනයා විසිරී ගොස් සිටින්නා වූ ජන සමූහයක් වූ අතර ඔවුන්ගේ පන්ති වුවමනාවන් එකාකාර නොවීය. තවද, සුළු භාණ්ඩ නිෂ්පාදකයින්ට අනුරූප වූ චරිතාංගයන්ගෙන් යුතු ගොවි ජනයා, මූලධනය හා වැටුප් ශ්‍රමය අතර වැනෙනසුලු ගුණාංගයන් පිළිබිඹු කළහ.‍ ගොවි ජනයාට ස්වාධීන දේශපාලන බලවේගයක් වශයෙන් ක්‍රියා කිරීමට නුපුළුවන් වූයේ මේ නිසාය.

මේ නිසා ඊනියා ගොවි ජන පක්ෂ හා සමග කම්කරු පන්ති පක්ෂ ඇතිකරගන්නා වූ සභාගයන්ගේ ප්‍රතිඵලය වන්නේ ධනේශ්වර‍ය හා සභාගයක් ඇතිකර ගැනීමයි. එළඹෙන විප්ලවය කම්කරු පංති නායකත්වයකින් සංයුක්ත වුවහොත් පමණක්, කම්කරු පන්තිය වටා ගොවි ජනයා සංවිධාන කළහොත් පමණක්, එම විප්ලවයේ කර්තව්‍යයන් සම්පූර්ණයෙන් සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත.

පාවුස්ට හා ලෙනින්ට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වූ ට්‍රොට්ස්කි, එබඳු විප්ලවයක් කම්කරු පංති නායකත්වයකින් යුතුව සිදු වුවහොත්, එනම් කම්කරු පන්තිය ඇත්තෙන්ම රාජ්‍ය බලය අල්ලා ගැනීමට සමත් වුවහොත්, කම්කරු පන්තිය හුදෙක් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් පමණක් ඉටු කිරීමට සීමා වේ යැයි සිතීම තාත්වික නොවන බැව් පෙන්වීය. රාජ්‍ය බලය අල්ලා ගන්නා කම්කරු පන්තිය, ධනපතියන්ගේ සූරාකෑම තවදුරටත් පවත්වාගෙන යෑමට අවකාශ දෙතැයි සිතීම පවා අසීරු බැව් ට්‍රොට්ස්කි පෙන්වීය. එනම්, කම්කරු පන්තිය විප්ලවයකට නායකත්වය දී, පැරණි රජය පොඩිපට්ටම් කර, නව රජයක් පිහිටුවා ඊට පසු දින හෝ දිනකින්, දෙකකින් පැක්ටරි වලට පෙරළා ගොස් සංවර කම්කරුවන් ලෙස ක්‍රියා කිරීමට එකඟ වේ යැයි සිතීම අසීරුය.

මේ තත්ත්වය තුළ බලය අත්පත් කරගන්නා කම්කරු පන්තිය, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ කර්තව්‍යයන්වල සිට නිෂ්පාදන මාර්ග ජනසතු කිරීම ඇතුළු සමාජවාදී කර්තව්‍යයයන් ඉටු කිරීම කරා නොනැවතී ගමන් කරන බැව් ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේය. අනෙක් අතට කම්කරු පන්තිය බලය අත්පත් කර ගැනීමට අසමත් වුවහොත්, ප්‍රතිවිප්ලවය රජයන අතර‍, කාර්මිකකරණය හා නවීකරණය කිරීමේ කාර්යයන් පරිපූර්ණ ලෙස ඉටු කර ගැනීමට නුපුළුවන් වනු ඇත.

1917 අප්‍රේල් තීසිසයෙන් ලෙනින් සිය අතීත ස්ථාවරය අත්හැර එළඹෙන විප්ලවයේ සටන්පාඨය, කම්කරු පන්ති ආඥාදායකත්වය වශයෙන් පිළි ගත්තේය. එහෙත් පැරණි විග්‍රහය අනුව සිතීමට හා ක්‍රියා කිරීමට පුරුදු පුහුණු වී සිටි පැරණි බොල්ෂෙවික් නායකයින් මෙම අදහසට පහසුවෙන් දිනාගැනීමට ලෙනින් සමත් වූයේ නැත. රුසියානු විප්ලවයෙන් මෙන්ම, මෙතෙක් ඇතිවූ සෑම විප්ලවයකින්ම ට්‍රොට්ස්කි ගේ මේ න්‍යාය සනාථ වී ඇත.

නොනවතින විප්ලවයේ සෙසු නියමයන්.

නොනවතින විප්ලවය පිළිබඳ න්‍යායයේ දෙවන අංශය සමාජවාදී විප්ලවයේ ස්වරූපය පැහැදිලි කිරීමක් වේ. “අවිනිශ්චිත දීර්ඝ කාලයක් තුළ හා අනවරතයෙන් ඇතිවන්නා වූ අරගල මගින් සියලු සමාජ සම්බන්ධතාවයන් පරිවර්තනය වේ. සමාජය දිගින් දිගටම එහි හැව ඉවත දමයි.“ (ට්‍රොට්ස්කි – නොනවතින විප්ලවය). මේ සෑම පරිවර්තනයක්ම ඊට කලින් ඇති වූ පරිවර්තනයන් තුළින් බිහි වේ. මෙය පරිවර්තනය වෙමින් පවත්නා සමාජය තුළ වසන විවිධ කණ්ඩායම් අතර ඇතිවන ගැටුම් තුළින් බිහිවන ක්‍රියාදාමයක් බැවින්, ඒවා දේශපාලන ස්වරූපයක් ගනී. ආර්ථිකයේ, විධික්‍රමයන්ගේ, විද්‍යාවේ, පවුලේ, සදාචාරයේ හා දෛනික ජීවිතයේ ඇතිවන්නා වූ විප්ලවයන් නිසා සමාජයේ සමතුලිතතාවයක් ඇති නොවේ.

කම්කරු විප්ලවය සාර්ථක වන්නේ කම්කරු පන්ති අරගලය අවුරුදු හෝ දශක ගණනාවක් මුළුල්ලේ විහිදුනු දැවැන්ත ක්‍රියාදාමයක් බවට පත්වීමෙනි. මෙම ක්‍රියාදාමයෙහි සියලුම මානුෂික සම්බන්ධතාවයන් සචේතනිකව හා ක්‍රමානුකූලව වෙනස් කරනු ලැබේ.‍ ධනේශ්වර පන්තිය රාජ්‍ය බලය අත්පත් කර ගත් පසු පසුගාමී පන්තියක් බවට පත්වන නමුත්, කම්කරු පන්තිය බලය අත්පත් කර ගැනීම හා සමඟ සිදුවන්නේ සමාජයේ විප්ලවීය පරිවර්තනය ඇරඹීම මිස අවසන් වීම නොවේ. එම ක්‍රියාදාමය අවසන් වන්නේ කම්කරු පන්තිය අන් සියලුම පන්තීන් හා සමග චුත වූ විටය.

නොනවතින විප්ලවයේ තෙවන අංශය නම්, සමාජවාදී විප්ලවයේ අන්තර්ජාතික ස්වරූපයයි. එය වත්මන් ආර්ථිකයේ ස්වරූපය හා මනුෂ්‍ය සමාජයේ ව්‍යුහය තුළින් එළඹෙන්නකි. ප්‍ර‍ජාතන්ත්‍රවාදය වියුක්ත මූලධර්මයක් නොව ලෝක ආර්ථිකයේත්‍, නිෂ්පාදන බලවේගයන්ගේ ජගත් වර්ධනයේත්, පන්ති සටනෙත්, අන්තර්ජාතික පරිණාම පරිමාණයේත් න්‍යායික හා දේශපාලන පිළිබිඹුවකි.

සමාජවාදී විප්ලවය ජාතික රාමුවක් තුළ ඇරඹෙන නමුදු එය හුදු ජාතික රාමුවක් තුළ, එනම් එක රටක සීමාවන් තුළ සම්පූර්ණ කළ නොහැක. කම්කරු පන්ති විප්ලවය ජගත් විප්ලවීය ක්‍රියාදාමයකි. ලෝක පරිමාණයෙහි ධනේශ්වරය තීරණාත්මක ලෙස පරාජය කරන තුරු එක් රටක සීමාවන් තුළ ජයග්‍රහණය වන කම්කරු පන්ති විප්ලවයන් නිරතුරුවම අන්තරායට ලක් වේ.

ලංකාවෙ‍න් නිදසුන්.

ලංකාවේ දේශපාලන ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදී නොනවතින විප්ලවය පිළිබඳ න්‍යායයේ ගැබ් වී ඇති මූලික විග්‍රහයන් සනාථ වන බැව් පැහැදිලිය.

1. ලංකාවේ කම්කරු පන්තිය ජනිත වූයේ ලාංකික ධනේශ්වරයේ නැගීම තුළින් නොව අධිරාජ්‍යවාදී ක්‍රියාදාමය (වතු ආර්ථිකය) තුළිනි. මේ වනවිට ඊනියා නිදහසින් වසර 75 ක් ගතවී ඇති නමුත්, ඉන්දියාවේ ටාටා, බිර්ලා හෝ අදානි, අම්බානි වැනි හෝ එකදු ධනපතියෙක් හෝ ධනපති සමාගමක් මෙතෙක් බිහිවී නැත.

2 දෙවනුව, මෙතෙක් බලය දැරූ එකදු ධනේශ්වර රජයක්වත් මෙරට පරිපූර්ණ ලෙස කාර්මිකකරණය කිරීමට හෝ ජාතික සමගිය ගොඩනැගීමට හෝ කෘෂිකර්මයේ නියම ප්‍රතිසංස්කරණයක් කිරීමට හෝ සමත් වී නැත.‍ එනම් ලංකාවේ ජාතික ධනේශ්වරයට, ධනේශ්වර විප්ලවයේ ප්‍රධාන කර්තව්‍යයන් ඉටු කරගැනීමට නොහැකි බැව් ඔප්පු කර ඇත.

3. තවද, මෙරට (ශ්‍රී ලංකාව) නාමික වශයෙන් නිදහස් වන නමුදු, අධිරාජ්‍යවාදයෙන් ස්වාධීනව ක්‍රියා කිරීමට ලාංකික ධනේශ්වරය සමත් වී නැති බවද පැහැදිලිය. මෙරට පැවැති සෑම ආණ්ඩුවක්ම අධිරාජ්‍යවාදීන්ට ගැති වූහ. අධිරාජ්‍යවාදී ආණ්ඩුවලින් හා ආයතනවලින් විශාල පරිමාණයේ ණය ලබාගැනීම නිසා අධිරාජ්‍යවාදීන්ගේ සිතැඟියාවන්ට අනුව සිය ආර්ථික පිළිවෙත් සකස් කිරීමට මෙම ධනේශ්වර ආණ්ඩු වලට සිදුවී ඇත. නිදසුනක් වශයෙන් වත්මන් රජය විදේශ ණය ප්‍ර‍තිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්පූර්ණයෙන් අවනතවීම, දුගී ජනතාවගේ සහනාධාර කප්පාදුව, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසීමිතව වැඩි කිරීම මගින් ජනතාව මත වක්‍ර‍ බදු වැඩි වැඩියෙන් පැටවීම, රජයේ සංස්ථා විසුරුවා හැරීම හා පුද්ගලික සමාගම් බවට පත් කිරීම ආදිය රාජ්‍ය මර්දනය යොදා ක්‍රියාත්මක කරන අතර විදේශීය හා දේශීය ආයෝජකයන්ට බදු සහන ලබාදීම අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව නිසා ගනු ලැබූ පියවරයන්ය. තවද ලාංකික ආර්ථිකය ලෝක වෙළඳපොළ හා කිට්ටුවෙන් බද්ධ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලාංකික ධනේශ්වර‍ය, අධිරාජ්‍යවාදී කනිෂ්ඨ සහචරයෙක් වශයෙන් ක්‍රියා කරති.

4. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික කරනවා හෝ ආරක්ෂා කරනවා වෙනුවට සෑම ධනේශ්වර ආණ්ඩුවක්ම දිරි ගෙන ඇත්තේ ඒවා තව තවත් සීමා කිරීමටයි. 1950 දී වතුකරයේ ඉන්දීය සම්භවයෙන් යුතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීම, 1978 ව්‍යවස්ථාවෙන් අතුරු මැතිවරණ අහෝසි කිරීම, 1980 දී අත්‍යාවශ්‍ය සේවා පනත සම්මත කර වැඩ වර්ජන අයිතිය බෙහෙවින් සීමා කිරීම, ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ විශේෂ විධි විධාන පනත ගෙනඒම, මෑතකදී ගෙන එන ලද මාධ්‍ය නිදහසට එරෙහි පනත සමහර නිදසුන් ය.

5. ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව‍, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් පරිපූර්ණව ඉටු නොවීම නි‍සා, සමාජ සම්බන්ධතාවයන්හි මෙන්ම, සංස්කෘතික ක්ෂේත්‍රය ‍තුළද පවත්නා පසුගාමී තත්ත්වය අපට නිරීක්ෂණය කළ හැක. විශේෂයෙන් පුද්ගලික නිදහස පිළිබඳව පවත්නා පසුගාමී අදහස් මෙන්ම, බොහෝ ධනපතියන් කම්කරුවන් කෙරෙහි තවමත් දක්වන රදළ ආකල්පයන් මීට නිදසුන්ය. 

සංස්කරණය: විල්ප්‍ර‍ඩ් සිල්වා

(මෙම ලිපිය සංස්කරණය කරනු ලැබූයේ 1980 මුල් භාගයේදී විප්ලවීය මාක්ස්වාදී පක්ෂයේ දේශපාලන අධ්‍යාපන වැඩ සටහන් සඳහා සකස් කරන ලද ලියවිලි ආශ්‍රයෙනි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *