Originally from: https://www.facebook.com/wijayananda.jayaweera
හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා විධිවිධාන යෙදීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එය හොඳය. “ආණ්ඩුව අපේ වුණාට රජය තවමත් අපේ නොවේ” යැයි මැසිවිලි කියන මැති ඇමතිවරුන් දැන් කල්පනා කළ යුත්තේ මධ්‍යගත රජයේ මුරණ්ඩු බලපරාක්‍රමය දමනය කිරීම සඳහා වැඩිදියුණු කළ පළාත් පාලන ආයතන ක්‍රමයක් මගින් ඒ බලය විමධ්‍යගත කොට බලයේ වගවීම මහජනතාවට සෘජුව අභිමුඛ කිරීමයි. සෘජු ප්රජාතන්ත්රවාදය දියත් කිරීමට පළාත් පාළන ආයතන වලට ඇති විභවය වැඩිය. දැනටම්ත් ඇතැම් රටවල පළාත් පාලන ආයතනවල අයවැය සාකච්ඡා කිරීම මහජන සංවිචාරණයකින් සිදුවේ. ඒ නිසා පරණ චිරාගත භුමිකාව ඉක්මවා ගොස් පළාත් පාලන ආයතන සක්‍රිය ප්රජාතන්ත්රවාදයේ සහ ප්‍රාදේශිය සංවර්ධනයේ මර්මස්ථාන බවට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය.
ඒ සඳහා ප්‍රථම කොටම පළාත්පාලන ආයතනවල නායකත්වය දැරීම පිණිස දැන උගත් බුද්ධිමත්, අවංක හා කැපවීමෙන් වැඩ කළ හැකි අපේක්ෂකයන් මැතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතුය. නොයෙකුත් දියුණු රටවල පළාත්පාලන ආයතන සිය බල ප්‍රදේශයේ පොදු ප්‍රවාහනය, ගුණාත්මක අධ්‍යාපනය, රැකියා හා වෘත්තීය පුහුණුව, නව නිවාස පහසුකම්, උද්‍යාන, ක්‍රීඩාංගන ඇතුළු ප්‍රජාව සඳහා සෞන්දර්ය හා වින්දන පහසුකම්, පවුල් සෞඛ්‍ය ආදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මූලිකව වගකියන අතර ඒ සඳහා කෙරෙන විවිධ ඵලදායක මැදිහත්වීම් අපට ආදර්ශයට ගත හැකිය. උදාහරණයක් වසයෙන් ඩෙන්මාකය වැනි රටවල පාසැල් සංවර්ධනය හා සිය බල ප්‍රදේශය තුළ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩිකිරීම සම්බන්ධයෙන් දෙමව්පියන්ට වගවෙන්නේ පළාත්පාලන ආයතනයි. පාසැල්වලට අවශ්‍ය පහසුකම් සැලසීම, පාසැල් දරුව්න්ට පෝෂ්‍ය ජනක ආහාරවේලක් ලබාදීම, අතිරේක ගුරුවරුන් සැපයීම ඇතුලු නොයෙකුත් කටයුතු කරන්නේ පළාත් පාලන ආයතන මගිනි. ළඟම පාසැල හොඳම පාසැල බවට පත් කිරීමේ වගකීම පළාත් පාලන ආයතන වලට පැවරූ විට දෙමව්පියන්ට මධ්‍යගත රජයකින් කරගන්නවාට වඩා තමන් විසින් පත්කරගත් පළාත් පාලන ආයතන ලවා එම වගකීම ඉටුකරගැනීම පහසුය. ඇතැම් රටවල පොදු ප්‍රවාහන සේවය විශේෂයෙන් මගීබස්රථ සේවා පවකත්වාගෙන යාමද කෙරෙන්නේ පළාත් පාලන ආයතන වල මෙහෙයවිමෙනි. ඒ නිසා බෙහෙවින් මගියන් ඇති වැඩි ආදායම් මාර්ගවල පමණක් නොව අඩු ආදායම් මාර්ගවල පොද ප්‍රවාහනය පවත්වා ගැනීම හෝ ඒ පිණිස සහනාධාර සැපයීම ද පළාත් පාළන ආයතන මගින් සිදුවේ.
මහනගරසභා ඇතුළු කාගරික මට්ටමේ පළාත් පාලන ආයතන ගැනද අප විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. නාගරික පරිසරය සමාජශීලී හා පරිසර හිතකාමී බවට පත්කරමින් සුහුරු නගර ගොඩනැගීමේ වැඩපිලිවෙළක් එක්ස්ත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වැඩපිලිවෙලින් යෝජනා කර තිබුණි. එවැනි වැඩ පිලිවෙළක් එක් එක් නගරයක් පාසා ඇති කර ගැනීමට හැකි නායකත්ව අප සොයාගත යුතුය. චීනයේ කර්මාන්ත සංවර්ධනය සඳහා සෘජු විදේශ ආයෝජන සාක්ෂාත් කරගැනීම වැඩිවසයෙන්ම කරන්නේ ඒ ඒ කගරවල නගරාධිපතිවරුන් විසින් බව මෑතකදී චීනය පිළිබඳ ලියා ඇති හොඳම පොත වසයෙන් සැලකෙන The New China Play Book කෘතිය ලියූ කෙයු ජින් පෙන්වා දෙයි. නගරාසන්න ප්‍රදේශවල නිශ්පාදන හා සේවා ප්‍රවර්ධනය කොට රැකියා අවස්ථා සුලභ කිරීමද නගරසභාවල වගකීමක් ලෙස එරට නගරාධිපතිවරු සලකති. අපේ නගර සඳහාද නගරාශ්‍රිත ආයෝජන හා නවෝත්පාදන කර්මාන්ත ආකර්ශනය කරගතහැකි දැනඋගත් කාර්යශුර නගරාධිපතිවරුන් පත්කර අවශ්‍ය ආයෝජන බලය නිසි සංරචක හා තුළන ක්‍රම ඇතිව ඔවුන්ට පැවරූවිට නගරබද මෙන්ම නගරාසාන්න කලාපිය සංව්ර්ධනවැඩ කටයුතුවල නියමුවන් බවට පත්වීමට ඔවුන් දිරිගැන්විය හැකිය. මේ නිසා පළාත්පාලන ආයතනවලට දැනටවඩා බෙහෙවින් වැඩිවගකීමක් පවරා ඒ සඳහා උචිත නිර්නමානශීලී නායකයින් තොරාපත් කරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය.

Wijayananda Jayaweera