2027 ප්‍රංශ ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ජන්-ලූක් මෙලන්ෂොන් ඉදිරිපත් කරන රැඩිකල් අභියෝගය, වාමාංශික දේශපාලනයේ අපේක්ෂා සහ සීමාවන් යළිත් කරළියට ගෙන එයි. එහෙත් සැබෑ සමාජ පරිවර්තනයක් තීරණය කරනු ඇත්තේ මැතිවරණ ජයග්‍රහණයකින් නොව, වැඩබිම්වල සහ වීදිවල සංවිධානය වන කම්කරු හා තරුණ අරගලයෙනි.
කර්තෘ සටහන:
ප්‍රංශයේ වර්තමාන දේශපාලන අර්බුදය, තරුණ හා කම්කරු විරෝධතා සහ 2027 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජන්-ලූක් මෙලන්ෂොන්ගේ නායකත්වයෙන් ඉදිරියට පැමිණෙන La France Insoumise (LFI) ව්‍යාපාරය පිළිබඳ මෙම ලිපිය, වාමාංශික දේශපාලනය තුළ පවතින අපේක්ෂා සහ ප්රතිවිරෝධතා විමසා බලයි. මෙලන්ෂොන්ගේ ජයග්‍රහණයක් දක්ෂිණාංශික හා අන්ත දක්ෂිණාංශික බලවේගවලට එරෙහිව වැදගත් දේශපාලන පසුබෑමක් ඇති කළ හැකි වුවද, මැතිවරණ ජයග්‍රහණයක් යනු විප්ලවීය සමාජ පරිවර්තනයකට සමාන නොවන බව ලිපිය අවධාරණය කරයි.
විශේෂයෙන්ම සිරිසා, පොඩෙමොස් සහ චිලියේ බොරීක් ආණ්ඩුවේ අත්දැකීම් ඔස්සේ මතු කරන ප්රශ්නය වන්නේ, ධනවාදී රාජ්‍ය බල ව්‍යුහයන්ට අභියෝග නොකර සමාජවාදී හෝ රැඩිකල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකිද යන්නයි.
මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ මැතිවරණ දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමක් නොව, එය වැඩබිම්වල, වීදිවල සහ ජනතා සංවිධාන තුළ ගොඩනැගෙන ස්වාධීන මහජන අරගලය සමඟ සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවයි.
බ්‍රහස්පතින්දා ප්‍රංශය පුරා මිලියන 1.6ක ජනතාවක් විරෝධතා පාගමනට එක්ව සිටියදී, අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු සඳුදා (නොවැම්බර් 9) මැටිඤොන්හි (අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී) වෘත්තීය සමිති සහ සේවායෝජක සංවිධාන සමඟ “සමාජ සමුළුවක්” පැවැත්වීමට තීරණය කළ බව නිවේදනය කළේය.
මෙම සාකච්ඡා පැවැත්වීමෙන් පිළිගැනෙන්නේ රජය අර්බුදයකට මුහුණ දී සිටින බවත්, විරෝධතාකරුවන්ට මර්දනය එල්ල කිරීමෙන් සහ නත්තල් සමය වන විට විරෝධතා ස්වයංක්‍රීයව අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වීමෙන් පමණක් තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත්ය. ජනාධිපතිවරණය ළං වන විට විරෝධතා අවසන් වනු ඇතැයි අපේක්ෂා කිරීම ද ප්‍රමාණවත් නොවේ.
මෙම සාකච්ඡා මගින් රජය යම් සහන කිහිපයක් ලබාදීමට සූදානම් විය හැකි බවට ඉඟි කෙරේ. එහි අරමුණ වන්නේ වෘත්තීය සමිති වැඩවර්ජන තවදුරටත් පුළුල් කිරීමෙන් සහ පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ගේ අරගලවලට සහාය දක්වමින් ජනතාව බලමුළු ගැන්වීමෙන් වළක්වා ගැනීමයි. එනම්, මර්දනයේ දණ්ඩනය සමඟ යම් සහන නමැති කැරට් අලයක් ද ලබාදීමේ උත්සාහයකි. මෙම සාකච්ඡා පැවැත්වීමේ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් වෘත්තීය සමිති කියා සිටියේ ශිෂ්‍ය වෘත්තීය සමිති ද ඊට ඇතුළත් කළ යුතු බවයි. එසේ වුවද, සිසුන් සහභාගී නොවන තත්ත්වයක් යටතේ වුවත් සාකච්ඡාවලට සහභාගී වීමට ඔවුහු එකඟ වූහ.
මෙහි පවතින අනතුර පැහැදිලිය. සාකච්ඡාවලින් අනතුරුව වෘත්තීය සමිති නායකයන් මැටිඤොන්හි සිට පිටතට පැමිණ, මෙම සාකච්ඡා ප්‍රයෝජනවත් වූ බවත්, මේ මොහොතේ තවත් ජාතික මට්ටමේ ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් නොකරන බවත් පැවසිය හැකිය. නැතහොත් එවැනි ක්‍රියාමාර්ගයක් සති කිහිපයකට පසු ක්‍රියාත්මක කිරීමට කල් දැමිය හැකිය.
මෙය 1968 වසරේ මහා වැඩවර්ජනය අවසන් වීමට හේතු වූ ක්‍රියාවලියකට සමාන ක්‍රියාවලියක ආරම්භය විය හැකිය. 1968 මැයි 25 සහ 26 යන දිනවල වෘත්තීය සමිති, සේවායෝජක සංවිධාන සහ රජය පැරිසියේ රූ ද ග්‍රෙනෙල් 127 හි පිහිටි කම්කරු අමාත්‍යාංශයේදී රැස්වූහ. එහි ප්‍රධාන චරිත අතර අග්‍රාමාත්‍ය ජෝර්ජ් පොම්පිදු සහ CGT වෘත්තීය සමිති නායක ජෝර්ජ් සේගුයි ද වූහ. මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි 27 වැනිදා යෝජනා මාලාවක් ඉදිරිපත් විය. මෙය ඇතැම් විට “ග්‍රෙනෙල් ගිවිසුම” ලෙස හැඳින්වුවද, එම යෝජනා කිසි විටෙකත් නිල වශයෙන් අත්සන් කරනු ලැබුවේ නැත.
CGT වෘත්තීය සමිතිය සහ කොමියුනිස්ට් පක්ෂය බලාපොරොත්තු වූයේ මෙම පියවර මගින් වැඩවර්ජනය අවසන් කිරීම සඳහා පදනමක් සකස් වනු ඇති බවයි. එම යෝජනා අතර අවම වැටුප ඉහළ දැමීම, වෘත්තීය සමිති අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සහ සියලු වැටුප් සඳහා සියයට 7ක පොදු වැඩිවීමක් ලබාදීම ද ඇතුළත් විය. සේගුයි වහාම රෙනෝල්ට්-බිලාන්කූර් කර්මාන්තශාලාවේ වැඩවර්ජනයේ නිරත කම්කරුවන්ගේ දැවැන්ත රැස්වීමකට ගියේය. එහෙත් එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ යෝජිත එකඟතාව කම්කරුවන් විසින් ඒ වන විටත් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
ග්‍රෙනෙල් සාකච්ඡාවලින් මහා වැඩවර්ජනය අවසන් වූයේ නැත. ඇත්ත වශයෙන්ම, කම්කරුවන් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ විප්ලවයක් සිදුවීමේ හැකියාව තවත් වැඩි වූ බවක් පෙනෙන්නට තිබිණි. ග්‍රෙනෙල් සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ජනාධිපති ඩි ගෝල් ප්‍රංශයෙන් පිටත්ව ජර්මනියේ සිටි ප්‍රංශ හමුදාවේ ප්‍රධානියා හමුවීමට ගියේය. එහිදී ඔහු ජෙනරාල් මසූට තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පැවසූ බව වාර්තා වේ. එයට පිළිතුරු දෙමින් ජෙනරාල්වරයා ඔහුට කියා සිටියේ තමන්ව පාලනය කරගෙන නැවත ශක්තිමත්ව නැගී සිටින ලෙසත්, හමුදාව ඔහු සමඟ සිටින බවත්ය. එම සහතිකයෙන් ධෛර්යමත් වූ ඩි ගෝල් නැවත සටනට පිවිසියේය.
කෙසේ වෙතත්, වෘත්තීය සමිති නායකයන්ගේ දෘෂ්ටිකෝණයෙන් ගත් කල, ග්‍රෙනෙල් සාකච්ඡාවල වැදගත්ම ජයග්‍රහණය වූයේ සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවකට පැමිණිය හැකි ක්‍රමයක් සකස් කිරීමයි.
ක්‍රිස් හාර්මන් සිය විශිෂ්ට කෘතිය වන The Fire Last Time හි මෙසේ ලියා ඇත: “වෘත්තීය සමිති නායකයන් ග්‍රෙනෙල් ක්‍රියාවලියට කැමැත්තක් දැක්වූයේ, දිගු කාලයකට පසු රජය තමන් වෙනුවෙන් කම්කරුවන් පාලනය කිරීමේ වගකීම වෘත්තීය සමිතිවලට භාරදෙමින් සිටි නිසාය!”
කෙසේ වෙතත්, අද වන විට ඊට ප්රතිවිරුද්ධව ක්‍රියාත්මක වන පීඩන කිහිපයක් තිබේ. 1968 වසරේදී ධනවාදය දිගුකාලීන ආර්ථික වර්ධන අවධියක් පසු වී තිබූ අතර එම වර්ධනය මුළුමනින්ම අවසන් වී තිබුණේ ද නැත. ජනතා කැරලි සහ විරෝධතා සමනය කර ගැනීම සඳහා සහන වශයෙන් බෙදා දීමට මුදල් තිබිණි.
නමුත් අද ප්‍රංශ පාලක පන්තිය පාලනය කරන්නේ ගැඹුරු අර්බුදයක ගිලී ඇති ආර්ථික පද්ධතියකි. එම පද්ධතියට ජනතාවට ලබාදීමට ඇත්තේ ඉතා සීමිත දේවල් ප්රමාණයකි.
එසේම, මැක්රොන් සහ ලෙකෝර්නු දැඩි බියකින් පසුවෙති. තමන් “මෘදු” හෝ විරෝධතාකරුවන්ට සහන දෙන පාලකයන් ලෙස පෙනී ගියහොත් මූල්‍ය වෙළෙඳපොළ තුළ පොලී අනුපාත ඉහළ නංවනු ඇතැයි ඔවුහු බිය වෙති.
රජය තවමත් යුරෝ බිලියන දස ගණනක වියදම් කප්පාදු ඇතුළත් අයවැයක් ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බව පවසයි. එම අයවැය පහසුවෙන් අත්හැර දැමීමට රජයට නොහැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස ලබාදිය හැකි සහන ඉතාමත් සීමිත වනු ඇත.
අප මීට පෙරත් මෙවැනි තත්ත්වයකට මුහුණ දී තිබේ. ඔක්තෝබර් 21 වැනිදා වෘත්තීය සමිති ලෙකෝර්නු හමුවූ අතර ඔහු ඔවුන්ට ලබාදුන් කිසිවක් නැත. ඔවුන්ගේ ඉල්ලීම් අවඥාසහගත ලෙස ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් CGT නායිකා සොෆී බිනේට නොවැම්බර් 5 වැනිදා වැඩවර්ජන සඳහා වඩාත් දැඩි කැඳවීමක් කිරීමට සිදුවිය. මැක්රොන් සාකච්ඡාවලින් පසු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන බව වෘත්තීය සමිති පවසා තිබේ. රජය සිය ස්ථාවරයෙන් කිසිදු වෙනසක් නොකරන්නේ නම්, තවත් ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කිරීම හැර වෘත්තීය සමිතිවලට වෙනත් විකල්පයක් ඉතිරි නොවනු ඇත.
කිසියම් වෘත්තීය සමිති නිලධාරියකු අරගලයෙන් ගැලවී යාමට මාර්ගයක් සොයාගත් පමණින් සිසුන් සිය අරගලය නතර නොකරනු ඇත. එසේම, සිසුන්ගේ අරගලය තවදුරටත් විශාල ජනතා බලමුළු ගැන්වීම් සහ සාමාන්‍ය කම්කරුවන්ගේ පහළ මට්ටමේ සිට සංවිධානය වන ක්‍රියාමාර්ග සඳහා තවදුරටත් ආශ්වාදයක් ලබාදිය හැකිය. සඳුදා පැවැත්වෙන සාකච්ඡාවලින් කුමන ප්‍රතිඵලයක් ලැබුණද, අයවැය පරාජය කිරීමටත්, ලෙකෝර්නු සහ මැක්රොන් බලයෙන් ඉවත් කිරීමටත් හැකි වන පරිදි කම්කරුවන් සහ සිසුන් වේගවත්ව අරගල උත්සන්න කිරීමක් සඳහා සංවිධානය විය යුතුය.
හාර්මන්ගේ වචන නැවතත් උපුටා දක්වන්නේ නම්:
“වෘත්තීය සමිති නිලධාරිවාදය සෑම විටම මහා වැඩවර්ජන යම් සීමාවක් ඉක්මවා යන විට ඒවා අවසන් කිරීමට උත්සාහ කරයි. මන්ද, එවැනි ව්‍යාපාර පාලකයන් සමඟ මේ හෝ ඒ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ සීමාව ඉක්මවා ගොස්, ඔවුන්ගේ සමස්ත අධිකාරියටම එල්ල කරන අභියෝගයක් බවට පත්වීමට පටන් ගන්නා බැවිනි.
එවිට දේශපාලන ප්‍රශ්න මතු වේ. එවැනි ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වන්නේ වෘත්තීය සමිති නිලධාරිවාදයට දැක්විය නොහැකි ආකාරයේ දේශපාලන ප්රතිචාරයකි.
නිලධාරිවාදී ව්‍යුහය තුළ සිටින, පෞද්ගලිකව දේශපාලන ප්‍රතිචාරයක් සමඟ එකඟ වන අයට පවා, එම ව්‍යුහය තුළ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව නිසා එවැනි ප්‍රතිචාරයක් ලබාදීම සීමා වේ. එවැනි අවස්ථාවක වැදගත් වන්නේ හුදෙක් වෘත්තීය සමිති සංවිධානය නොව, දේශපාලන සංවිධානයයි.”
![]()
