ස්ටාලින්වාදී පිළිවෙත්වලින් නොමිදෙන තාක් කල්, යළි වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම සිහිනයක්ම පමණක් වන්නේය!

1917 විප්ලවයෙන් ජනිත වූ මේ තරුණ කම්කරු රාජ්‍ය නොදියුණු වූත්, ඌන සංවර්ධිත වූත් රටක් වූවා පමණක් නොව, හුදකලා වූත්, හෙම්බත් වූත් රටක් ද විය. යුද්ධයෙන් හා විප්ලවයෙන් අනතුරුව කම්කරු රාජ්‍යයට දීර්ඝකාලීන හා බිහිසුණු සිවිල් යුද්ධයකට මුහුණ පාන්නට සිදුවීම නිසා පක්ෂයේ සිටි හොඳම විප්ලවවාදී කේඩර විශාල පිරිසක් ජීවිතක්ෂයට ද පත්විය. “විප්ලවයේ පාවාදීම“ කෘතියේ ට්‍රොට්ස්කි සඳහන් කර ඇති ආකාරයට විප්ලවයට බටහිරින් (දියුණු කාර්මික රටවල කම්කරුවන්ගෙන්) උදව්වක් නොලැබිණ. විප්ලවයෙන් බලාපොරොත්තු වූ සෞභාග්‍ය උදාවනවා වෙනුවට, අන්ත දුගීභාවය දිගු කලක් පැවතින. තවද කම්කරු පන්තියේ ඉතාමත් දියුණු කොටස් සිවිල් යුද්ධයෙන් මරණයට පත් විය; නැතහොත් ඔවුන් පියවර කිහිපයක් ඉහළට ගමන් කිරීම නිසා ජනතාවගෙන් ඈත්විය.

කම්කරුවන් වෙහෙසට පත්ව සිටි අතර, ජනතාව රටේ නායකත්වයෙහි ක්‍රියාශීලීව සහභාගී වීමෙන් ඈත් කරනු ලැබීය. කම්කරුවන්ගේ මෙම ප‍්‍රතික්‍රියාවන් නිසා නාගරික හා ග්‍රාමීය සුළු ධනේශ්වර ස්ථරයන් අතර අසාමාන්‍යය අපේක්ෂාවන් ජනිත විය. ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය ද මෙයට සමාන රූපීව වර්ධනය විය.

බල්ගේරියානු නැගිටීම යටපත් කිරීම, 1923දී ජර්මන් කම්කරුවන් පරාජිතව පසු බැසීම, එස්තෝනියාවේ තැත් කරන ලද නැගිටීම අසාර්ථක වීම, එංගලන්ත මහා වැඩවර්ජනය ද්‍රෝහී ලෙස දිය කර හැරීම හා 1926දී පෝලන්ත කම්කරු පක්ෂයේ අයහපත් ක්‍රියා කලාපයත්, 1927දී චීන විප්ලවයේ බිහිසුණු ඝාතනයත් ආදිය නිසා ලෝක විප්ලවය පිලිබඳව සෝවියට් ජනතාව තුළ පැවති විශ්වාසය බිඳවැටුණු අතර ජනතාවගේ එකම ගැලවුම් කරුවන් ලෙසින් නිලධාරී පැලැන්තියට මුළුමනින්ම නැගී සිටීමට අවස්ථාව ලැබිණ.

ජර්මන් ප්‍රතිගාමීන් කාල් ලීබ්නෙක්ට් සහ රෝසා ලක්සම්බර්ග් ඝාතනය කළාක් මෙන්ම, සෝවියට් සංගමයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකු වූ දොරා කප්ලාන් ලෙනින්ට වෙඩි තබන ලදී. වෙඩි තැබීමෙන් පසුව වසර කිහිපයක් ජීවත් වුවද, ලෙනින්ට සම්පූර්ණ සුවය ලැබුණේ නැත. ඔහුගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය නිසා පක්ෂය තුළ හෝ පොදු ජන කටයුතුවල හෝ ක්‍රියාශීලී වීමට ඔහුට ඉඩ නොලැබුණ අතර‍, ප්‍රතිගාමීත්වයේ වර්ධනය පිළිබඳව, අනතුරු ඇඟවූ ලෙනින් ස්ටාලින් වෙනුවට පක්ෂයේ ලේකම් වශයෙන් වෙනත් අයකු පත් කරන්නැයි ඉල්ලීමක්ද කළේය. ළදරු කම්කරු රාජ්‍යයේ දේශපාලන බලය කම්කරු පන්තියෙන් උදුරා ගත් නව නිලධාරි පැලැන්තියේ නායකයා වශයෙන් ස්ටැලින් ජනිත විය.

මේ සියලු සිද්ධීන් හේතුකොට ගෙන ඇති වූ ප්‍රතිඵල ඉතා බලගතු විය.‍ ලෙනින් විසින් විප්ලවයේ ආයුධය වශයෙන් බිහි කළ බෝල්ෂෙවික් පක්ෂයේ ස්වරූපය සහ ස්වභාවය වෙනස්වීම එක් ප්‍රතිඵලයක් විය.

ලෙනින් ඉතාමත් උසස් කොට සැලකූ සහ පක්ෂයේ සුභසිද්ධියට අත්‍යාවශ්‍ය වූ ප්‍රජාතන්ත්‍ර මධ්‍යගතවාදය විනාශයට පත්වී අහෝසි විය.

යුධ තත්වය යටතේ පක්ෂ අභ්‍යන්තර කණ්ඩායම් පැවතීම තාවකාලිකව අත්හිටවනු ලැබූ නමුත් ස්ටාලින් යටතේ එම අත්හිටුවීම සාමාන්‍ය තත්වයක් බවට පත්විය. ලෙනින්ගේ මරණයට ආසන්න කාලයේදී සිනොවියෙව් සහ කමනෙව් සමඟ ඉතාමත් කිට්ටුව හා සහයෝගයෙන් ක්‍රියා කළ ස්ටාලින්ගේ ඒකායන ව්‍යායාමය වූයේ සංවිධානය සාමාන්‍ය සාමාජිකයන්ගේ පාලනයෙන් ඉවත් කිරීමය.

ලෙනින්ගේ මරණයෙන් පසුව එතෙක් ඉතාමත් සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක වූ පක්ෂ සාමාජිකයන් බඳවා ගැනීම වඩා ලිහිල් කරන ලදී. කම්කරුවන්, ලිපිකරුවන්, සුළු නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙකු පක්ෂයට ඇතුල් කරන ලදී. කම්කරු පංතියේ පෙරටු ඇණිය අත්දැකීම්වලින් හා ස්වාධීනත්වයකින් තොර පිරිසකගේ සංවිධානයක් දක්වා පිරිහුණි. මියගිය ලෙනින්ගේ නාමයෙන් සිදුකරන ලද මෙම සියලු ක්‍රියාවලින් බෝල්ෂෙවික් පක්ෂයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල විය.‍ ප්‍රජාතන්ත්‍ර මධ්‍යගතවාදය වෙනුවට, නිලධාරී පැලැන්තියේ මධ්‍යගත භාවය ආදේශ කරන ලදී.

බොල්ෂෙවික් පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වීමත් සමඟම සෝවියට් සභාවල‍, වෘත්තීය සමිතිවල, සමූපකාර සංවිධානවල, සංස්කෘතික හා ක්‍රීඩා සමාජවල ද‍ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි‍ විය.

ධනේෂ්වර සමාජයක රාජ්‍ය යනු පාලක ධනපති පන්තියේ මර්දනකාරී ආයුධය වන්නේය. ධනේශ්වර රාජ්‍ය විප්ලවයෙන් පෙරලා දැමීමෙන් පසු තත්වය කුමක්ද? පෞද්ගලික දේපල අයිතිය නැති කිරීමෙන් පසු පෞද්ගලික දේපල ක්‍රමය ආරක්ෂා කළ රජයක අවශ්‍යතාවය අහෝසි විය. ඒ වෙනුවට සෝවියට් සභාවල සංවිධානය වූ ජනතාව තුලින් බලය ක්‍රියාත්මක විය. ධනපති රාජ්‍ය වෙනුවට කම්කරු රාජ්‍යයක් ඇති විය.

නිලධාරී පැලැන්තියේ ජනිත වීමත් සමඟ සෝවියට් සභා වලින් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වූ අතර ඒවායින් තවදුරටත් ජනතාව නියෝජනය නොවීය.‍ සෝවියට් සභා වලට නියෝජිතයන් පත් කිරීම ද නිලධාරිවාදී ලෙසට ඉහලින්ම කරන ලදී. සෝවියට් සභා වලින් ජනතාවගේ අදහස් හා අයිතීන් පිළිබිඹු නොවීම ප්‍රශ්නයක් නොවීය.‍ මේ අනුව සෝවියට් සභා ද නිලධාරිවාදයේ ආයුධ බවට පිරිහිණි. කම්කරු පන්තියේ සහ ජනතාවගේ දේශපාලන බලය නිලධාරී පැලැන්තිය විසින් උදුරා ගන්නා ලදී. ඒ අනුව සෝවියට් කම්කරු පන්තියේ දේශපාලන අයිතිය නැවත ලබා ගැනීම සදහා අරගලයක් කිරීම අත්‍යාවශ්‍ය වී තිබුණි. මෙය කළ හැකිව තිබුණේ දේශපාලන විප්ලවයකින් පමණි. මේ නිසා සෝවියට් රුසියාව තුළ දේශපාලන විප්ලවයක් සිදු කිරීම ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගයේ මූලික අංගයක් වී තිබුණි.   

ඔක්තෝබර් විප්ලවයෙන් පසු ලෙනින්, දෙවන ජාත්‍යන්තරය විසුරුවා හරින ලදී. එයට සම්බන්ධ වූ පක්ෂ මුළුමනින්ම කුණුවූ තත්ත්වයකට පත්වී තිබිණ. දෙවන ජාත්‍යන්තරයට සම්බන්ධ වූ විශාලම පක්ෂයක් වූ ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආරම්භයේදීම යුද්ධය හෙළා දුටුවේ නැත.‍ අධිරාජ්‍යවාදී යුද්ධයට පක්ෂපාතීත්වය දක්වමින්, ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ‍යුද්ධය සඳහා මුදල් අනුමත කරන ලදී,

ස්ටාලින් යටතේ තුන්වන ජාත්යන්තරය ද පිරිහුණි. තම තමන්ගේ රටවල පන්ති සතුරා විනාශ කර දමන ලෙසට ජාත්‍යන්තර කම්කරු පන්තියට ආයාචනා කරනු වෙනුවට, ස්ටාලින් 1924 දී සෝවියට් රුසියාවේ තනි රටක සමාජවාදය ගොඩනැගීම පිළිබඳව අලුත් සහ විනාශකාරී න්‍යායක්.ඉදිරිපත් කරන ලදී. මෙම න්‍යාය නිසා විප්ලවය පතුරුවා හැරීම සහ සමාජවාදය ගොඩ නැංවීම වෙනුවට සෝවියට් රජය සහ නිලධාරීවාදය කුමන තත්වයක් තුළ හෝ රැක ගැනීමට ක්‍රියා කිරීම ලෝකයේ අනිකුත් රටවල කොමිනියුස්ට් පක්ෂවල කර්තව්‍ය බවට පත්විය.

ප්‍ර‍ජාතන්ත්‍රවාදීව වාද-විවාද පැවැත්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදීව තීරණ ගැනීම ජාත්‍යන්තරයෙන් අහෝසි වීමත් සමඟම මොස්කව් වලින් ලැබෙන “දේශපාලන නියෝග“ ක්‍රියාත්මක කිරීමට ලෝකයේ අනිකුත් රටවල කොමියුනිස්ට් පක්ෂවලට සිදුවිය. සියලුම ස්ටැලින්වාදී පක්ෂ සෝවියට් නිලධාරි පැලැන්තියේ විදේශික ප්‍රතිපත්තියේ ඕනෑ එපාකම් අනුව ක්‍රියාකරන නිලධාරිවාදී ඒජන්තවරුන් බවට පත්වී තිබුණි.

තමන්ගේ රටවල පංති සතුරා විනාශ කිරීමට ක්‍රියා කිරීම වෙනුවට වෙනත් දෙයක් කිරීම කොමියුනිට්ස් පක්ෂවල කාර්යය බවට පත්වී තිබුණි.සෝවියට් විදේශ ප්‍රතිපත්තියට හිතවත්කම් දක්වන ඕනෑම පක්ෂයක් සමඟ සන්ධාන ගොඩ නැංවීමට අනිකුත් රටවල කො‍මියුනිට්ස් පක්ෂ සූදානම් වී සිටියහ. මේවා මහජන පෙරමුණ වශයෙන් හැඳින්වූ අතර තුන්වන ජාත්‍යන්තරයේ සියලුම පක්ෂවල මූලික කටයුත්ත මෙම සන්ධාන පිහිටුවීම විය.1930 ගණන්වල ප්‍ර‍ංශ අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කළ නිදහස් කාමීන්ට බෝම්බ හෙළීම සඳහා අහස් යානා යැවූ ප්‍ර‍ංශ කැබිනට් මණ්ඩලය තුළ කොමිනියුස්ට් ඇමතිවරයෙකු විය. 1964 සිට ශ්‍රී ලංකාවේ ඇතිවූ සභාග ආණ්ඩු තුළ කොමියුනිස්ට් ඇමතිවරු මෙන්ම සමසමාජ ඇමතිවරුද (කලින් ට්‍රොට්ස්කිවාදීන්වූ) අධිරාජ්‍යවාදීන්ට හා ධනපති පංතියට අවනතවූ හා ජනතාවගේ ප්‍ර‍ජාතන්ත්‍ර‍ හා මානව අයිතීන් යටපත් කිරීමේ හා මර්දනකාරී පාලන තන්ත්‍ර‍යන්ට ක්‍රියාකාරීව දායක වී ඇත. 

ස්ටාලින්වාදී ජාත්‍යන්තර අපරාධ සවිස්තරව ගෙන හැර දැක්වීම මෙවැනි ලිපියකින් හෝ කතාවකින් හෝ පමණක් කළ නොහැක. 1920 ගණන්වල සිට 1930 ගණන් දක්වා තුන්වන ජාත්‍යයන්තරයේ ක්‍රියාමාර්ග වෙනස් කරවීමට ට්‍රොට්ස්කි උත්සාහ කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පළමුවෙන්ම ට්‍රොට්ස්කි සහ තවත් වාම විරුද්ධවාදීන් සෝවියට් කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපීය. අනතුරුව 1928 දී අල්මා අටා වලට ද පසුව සෝවියට් සංගමයෙන් පිටතටද ඔහුව පිටුවහල් කරන ලදී.

පැසිස්ට්වාදය බිහිවීමට හේතු වූයේ ද තුන්වන ජාත්‍යයන්තරයේ වැරදි සහ අවස්ථාවාදී ප්‍රතිපත්තීන් ය.‍ ස්පාඤ්ඤයේ මහජන පෙරමුණ එහි කම්කරු පන්තියේ පරාජයට හේතුවක් වූ අතර, ප්‍රැන්කෝගේ මතු වීමටත්, වසර පනහක් පමණ කාලයක් ස්පාඤ්ඤ ජනතාව මර්දනයටත්, යුරෝපය පුරා නිදහස නැති වීමටත් එය හේතු විය. 

චීනයේ කොමියුනිස්ට් පක්ෂය ශක්තිමත් නොකරන ලද අතර ස්ටාලින් විසින් කුවෝමින්ටෑන් ධනපති පක්ෂය සහ චියෑංකායි ෂෙක්ගේ හමුදාව පුහුණු කරවීමටත්,  රුසියානු ජෙනරාල් මාර්ෂල් බ්‍රරෝඩීන් යවන ලදී. ඔව්හු ශක්තිමත් වූ පසු 1927දී කොමියුනිස්ට් පක්ෂයට පක්ෂපාතීව සිටි ජනතාවත්, නගරත් මර්දනය කළෝය. ශ්‍රී ලංකාවේ කොමිනිස්ට් පක්ෂය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට සහයෝගය දැක්වූ අතර ට්‍රොට්ස්කිවාදීන්ට විරුද්ධව පොලිස් ඔත්තු කරුවන් සේ ක්‍රියා කරන ලදී. 

1964 දී මෙම පංති සහයෝගිතා පිළිවෙතට අවතීර්ණවූ ශ්‍රී ලංකාවේ සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය, සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් පැවති ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සභාග දේශපාලනයට අවතීර්ණවීම නිසා කම්කරු පංති හා පීඩිත ජනතා ව්‍යාපාරය පරාජයට පත්වී අද පවතින දුර්වල තත්ත්වයට පත්වූවා පමණක් නොව රටේ ජනවාර්ගික සමගිය නැතිවී වසර 30 ක් පුරා දිග හැරුණු ජනවාර්ගික යුද්ධයකටද, විශාල ජීවිත හා දේපළ හානියකටද හේතු සාධක විය. අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දේශපාලන, සමාජ-ආර්ථික අර්බුදයටත්, මර්දනකාරී හා දූෂිත ධනපති ආණ්ඩු පාලනයටත් ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරය විසින් අනුගමනය කරන ලද මෙම ස්ටාලින්වාදී පිළිවෙත් හේතු සාධක වී ඇත.

මෙම ස්ටාලින්වාදී නැතහොත් නිලධාරිවාදී පිළිවෙත් හුදෙක් සෝවියට් හිතවාදී කොමියුනිස්ට් පක්ෂවලට පමණක් සීමාවූ කාරණයක් නොවේ. ස්ටාලින්වාදය විවේචනය කළ හා තවමත් විවේචනය කරන ට්‍රොට්ස්කිවාදී කණ්ඩායම් හා ඔවුන් නායකත්වය දෙන වෘත්තීය සමිති වැනි අනිකුත් බහුජන සංවිධාන තුළද ඉතා නග්න ආකාරයෙන් අනුගමනය කරනු ලැබුවේත්, තවමත් අනුගමනය කරනුයේත් ස්ටාලින්වාදී හා නිලධාරිවාදී පිළිවෙත් වන්නේය. මේ සදහා දැක්විය හැකි එක් උදාහරණයක් වනුයේ වෘත්තීය සමිති තුළ පවතින යාවජීව නායකත්වයන් ( ජීවිතයේ අවසානය දක්වාම ප්‍ර‍ධාන ලේකම් වශයෙන් කටයුතු කිරීම) වැනි තත්ත්වයන්ය. එපමණක් නොව මෙම බොහෝ සංවිධාන තුළ වෙනස් මත දැරීමට ඇති මූලික ධනපති ප්‍ර‍ජාතන්ත්‍රවාදී අයිතියටවත්  අවකාශ නොමැත. මෙම ස්ටාලින්වාදී පිළිවෙත්වලින් නොමිදෙන තාක් කල්, යළි වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම සිහිනයක්ම පමණක් වන්නේය.  

  • විල්ප්‍ර‍ඩ් සිල්වා විසිනි –

Loading